November 30, 2020

Kotuwa Paththare

Kotuwapaththare offical

අවුකන බුදු පිළිම වහන්සේ ගැන බොහෝ දෙනා නොදන්නා දේවල්

බුදු රජාණන් වහන්සේ දේශනා කළේ හේතුඵල ධර්මතාවය වැනි ධර්මයයි. මේ ධර්මය අවබෝධ කරගැනීම සඳහා අනුගමනය කෙරෙන පිළිවෙත් මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මිනිසුන් ධර්මානුකුල වත් පිළිවෙත් අනුගමනය කරන විට එය නිතැතින්ම ආගමික ස්වරුපයක් ගනී. අධ්‍යාත්මික ශික්ෂණය සඳහා පිළිවෙත් අනුගමනය කරද්දී ඊට වන්දනා ආදී අනෙකුත් බාහිර කටයුතුද උපකාරී වේ.

මල් පහන් පුදා වන්දනා කිරීමෙන් ලෝක ධර්මතාවයවූ ජිවිතයේ අනිත්‍ය භාවය ආදීය ගැන පහන් සංවේගයක් ඇති කර ගැනීමට පිටිවහලක් ලැබේ. සත්තිස්‌ බෝධි පාක්‍ෂික ධර්මයක් වන බුද්ධානුස්‌සතිය වැඩීමට බුදුපිළිමය නිමිත්තක්‌ ලෙස යොදා ගත හැකිය. ඒ අනුව බුදුරජානන් වහන්සේ උන්වහන්සේගේ ශාරීරික, පාරිභෝගික හා උද්දේශික වස්තුන් වන්දනා කිරීම අනුදැන වදාළහ. උන් වහන්සේ ජීවමාන කාලයේදීම ශ්‍රී මහා බෝධිය හා ආනන්ද බෝධිය වන්දනාවට පාත්‍ර වී ඇත.

බුදුරජානන් වහන්සේ වෙනුවෙන් නිර්මාණය කොට ගැනෙන ප්‍රථිමාව උද්දේශික වස්තුවකි. බුදුරජානන් වහන්සේ අප්පටි පුද්ගල වශයෙන් හඳුන්වා ඇත. එයින් අදහස් කෙරෙන්නේ උන්වහන්සේට සමකළ හැකි කිසිවෙක් නොවන බවයි. බුද්ධ ප්‍රථිමාවක් නිර්මාණය කරගත යුතුව ඇත්තේ බුදු රජාණන් වහන්සේගේ ගුණ මෙනෙහි කොට පහන් සංවේගයක් ඇති කර ගත හැකිවන ආකාරයෙන් මිස, වැඳුම් පිදුම් කොට යාඥා කිරීමට යොදා ගන්නා දෙවි කෙනෙකු ආකාරයෙන් නොවේ. එහෙයින් එම ප්‍රතිමාවෙන් උත්තරීතර තත්වයකට පත්වූ මනුෂ්‍යයකුගේ මහා කරුණාව, ශීලය, සමාධිය, ප්‍රඥාව ආදී අභ්‍යන්තර ගුණ සමුදාය හා මහා පුරුෂ ලක්ෂණ ප්‍රති නිර්මාණය විය යුතුය. එහෙයින් බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කිරීම පහසු කටයුත්තක් නොවේ.

බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කරගෙන ඇත්තේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් සියවස් ගණනාවකට පසුවයි. වංශ කතාවල දැක්වෙන ක්‍රිස්තු පුර්ව තුන්වන සියවසේ දේවානම් පියතිස්ස රජු ථූපාරාමයේ බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීම ශ්‍රී ලංකාවේ බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කල බවට දැක්වෙන පළමු අවස්ථාවයි. පසුව දුටුගැමුණු රජු රුවන්වැලි සෑයේ ධාතු ඝර්භයේද, වසභ රජු ශ්‍රී මහා බෝධියේ සතර පැතිවලද, බුද්ධ ප්‍රථිමා තැන්පත් කල බව වංශ කතාවල සඳහන් වේ.

මහින්දාගමනයෙන් පසුව බෞද්ධ ධර්මය ප්‍රචලිත වීමත් සමග බෞද්ධ සංස්කෘතියද වර්ධනය වූ බවක් පෙනී යයි. මේ සංස්කෘතිය සමග බද්ධවුණු කලා ශිල්පින් බුදු රජාණන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ හා උන්වහන්සේගේ මහා කරුණාව ආදී ගුණ ධර්මයන් පිළිබිඹු වන බුද්ධ ප්‍රතිමා නිර්මාණයටද පියවර ගෙන ඇත. එයින් බුදු දහම ප්‍රචලිත කිරීමටත්, බුදු දහම අවබෝද කරගැනීමට මිනිසුන් පොළඹවා ගැනීමටත් කලා කරුවා තම මෙහෙවර ඉටු කොට ඇත.

ක්‍රිස්තු වර්ෂ තුන්වන සියවසේ පමණ සිට එකොළොස් වන සියවස දක්වා පමණ ශ්‍රී ලංකාවේ කලාව ඉතා දියුණු තත්වයක පැවතී බව පෙනේ. මේ කාලය තුලදී නිමවා ඇති බුද්ධ ප්‍රථිමා කලාත්මක ලෙස හා එය දකින්නාගේ සිත් පහන් කරවමින් භක්තියක් හා ගෞරවයක් ඇතිවන ආකාරයෙන් නෙලා ඇති බව පෙණී යයි. මෙවන් විශාල ශෛලමය හිටි පිළිම කීපයක් දිවයිනේ නන් දෙස නිමවා තිබෙනු දැකිය හැකිය.

මෙසේ නෙලා ඇති ප්‍රථිමා අතර මාලිගාවිල, බුදුරුවගල, දෝව, රැස් වෙහෙර හා අවුකන ආදී ස්ථාන ගල් කුළු වලින් නෙලූ විශාල හිටි පිළිම ප්‍රධාන තැනක් ගනී. මේ අතරින්ද අවුකන පිළිමය ඉතා විශේෂිතය.

වැවයි දාගැබයි යන ශ්‍රී ලාංකීය සංස්කෘතික අනන්‍යතාවය වැවයි ප්‍රතිමාවයි ලෙස මඳක් වෙනස් කරමින් කලාවැව ආසන්නයේ ගල් කුලක පුර්ණ උන්නතව අවුකන ප්‍රථිමාව නෙලා ඇත. ක්‍රිස්තු වර්ෂ 477 පමණ වනතුරු ශ්‍රී ලංකාවේ රජකම් කල ධාතුසේන රජතුමා කලාවැව කරවා ඇත. සෙනරත් පරණවිතාන මහතා මේ බුද්ධ ප්‍රථිමාවද ධාතුසේන රජතුමන් විසින් කරවන ලද්දක් බවට කරුණු පැහැදිලි කර ඇත.

මේ පිළිමයට තනා ඇති මීටර් 14 ක් දිග මීටර් 7 ක් පළල ප්‍රථිමා ගෘහය අට වන සියවසේදී පමණ ඉදි කරන්නට ඇතැයි, එහි නැගෙනහිර බිත්තියේ ඇති ශිලා ලිපිය අනුව විශ්වාස කෙරේ. පිළිම ගෙය සහ පිළිමය යන දෙකම අටවන සියවසේම කරවන ලද බවට මහාචාර්ය දිරාන් කචෝක් දොහානියන් මහතා අදහස් පලකොට ඇති බව කියති. චන්ද්‍රා වික්‍රම ගමගේ මහතාද මේ අදහසට පක්‍ෂ වී ඇති බව පෙනේ. කාලයාගේ ඇවෑමෙන් වල් බිහිවූ පරිසරයක මිනිසුන් කෙරෙන් හුදකලාවූ මේ ප්‍රථිමාව මෑත යුගයේදී සොයාගෙන ඇත්තේ මිනුම් කටයුතු සඳහා ගිය ආර්. එල්. බ්‍රෝහියර් මහතා විසින් බව ඔහු ලියා ඇති බ්‍රෝහියර් දුටු ලංකාව පොතේ සඳහන් කර ඇත.

අවුකන බුද්ධ ප්‍රථිමාව පද්මාසනයක් මත සෘජුව තබාගෙන ඇති ශරීරයේ බර දෙපා මතට සමසේ විහිදෙන ආකාරයෙන් සම භංග ඉරියව්වෙන් නිමවා ඇති හිටි පිළිමයකි. සම්පුර්ණ උන්නත ආකාරයෙන් නෙලා ඇති පිළිමය පිටුපස කුඩා තීරුවකින් පිහිටි ගල් කුලට සම්බන්ද වී ඇත. පිළිමයේ බාහිර ලක්ෂණ මෙසේය. පද්මාසනයේ සිට සිරස් පත දක්වා උස මීටර් 11.36 කි. දකුණු හස්තය අභය මුද්‍රාව දක්වමින් ඉහලට ඔසවාගෙන සිටි. ඉහලට එසවූ වමතින් සිවුර දරාගෙන කටක මුද්‍රාව දක්වයි. අඳනය, පටිය හා තනිපට සිවූරෙන් ඒකාංශ පාරුපන ක්‍රමයට සැරසි සිටි. අඳනයේ පහල කොටස සිවුරට වඩා දික්ව පෙනේ.

ඇඟට ඇලුණු ස්වාභයෙන් යුත් සිවුර දර්ශනීය රිද්මයානුකුල තීව්ර තනි රැලි රටාවෙන් නිමවා ඇත. දිගටි ඇස් හා සිහින් ඇහි බැම ඇත. දෙතොල් ඝනය. පුළුල් නළල් තලයකින් හා දිගු දෙකන් වලින් යුක්තය. සිරසේ දක්ෂිණා වෘත කෙහෙරැලි දක්වා ඇත. බුදුරැස් සංකේතවත් කෙරෙන (රන්සි චුළාමණිය) සිරස් පත සිරසට සම්බන්ද කෙරෙනේ ස්ථානය රන්සි පුංජයක්සේ දක්වා ඇත.

බිමට පතිතවී තිබුණු සිරස් පත සවිකොට ඇත්තේ ක්‍රි.ව.1870 දීය. බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඇති හියු නෙවිල්ගේ චිත්‍රයක දැක්වෙන්නේ සිරස් පත බිම තිබෙන ආකාරයකින් බව කියති

පිළිමය නෙලීමේදී නව තාල ක්‍රමය අනුගමනය කර ඇත. ඒ අනුව යටි පතුලේ සිට නළලේ ඉහල කෙලවරට උස, මුහුණේ උස ප්‍රමාණය මෙන් නව ගුණයකි. මුහුණේ උස ප්‍රමාණය මිනුම් කටයුතු සඳහා තාල එකක් ලෙස සලකමින්, බෙල්ල, දන, විලුඹ තාල තුනෙන් එකක් බැගින්ද බෙල්ලේ සිට පපුව දක්වාත්, පපුවේ සිට නාභිය දක්වාත්, නාභියේ සිට කලවා දක්වාත් තාල එක බැගින්ද, කලවා සහ කෙන්ඩ තාල දෙකක් බැගින්ද වන අනුපාතයට පිළිමය නෙලා ඇත.

අවුකන බුදු පිළිමය මහා පුරුෂ ලක්ෂණ ඉස්මතුවන ආකාරයෙන් නිමවා ඇත. පිරිපුන් පිටි පතුල්, පිටි අල්ල, දෙවුර හා ශරීරය, දක්ෂිනාවෘත හිසකෙස්, රවුම් පිරිපුන් හිස හා පුළුල් නළල ආදියෙන් යුත් බුදුරජානන් වහන්සේගේ සම්පුර්ණ රූප කායෙන් පෞරුෂය හා ප්‍රභාවත් භාවය පිළිබිඹු කරයි.

අවුකන බුද්ධ ප්‍රථිමාව අති විශිෂ්ට නිර්මාණයකි. පිළිමය නෙලීම සඳහා සුදුසු පර්වතයක් තෝරා ගැනීම, නිවැරදිව මිනුම් කටයුතු කොට පිළිමය සැලසුම් කිරීම, කිසිදු අතපසු වීමක් නොවන ආකාරයෙන් සුක්ෂම ලෙස පිළිමය නෙලීම ආදිය එකල ශිල්පීන්ගේ කුසලතාවය පිළිබිඹු කෙරෙන කැඩපතකි. මෙම පිළිමය කලා කෘතියක් ලෙස ගතහොත් ඕනෑම කෙනෙකුට ඉන් කලාත්මක රසවින්දනයක් ලබා චංචල සිත සන්සුන් කරගත හැකිවනවා සේම බුදු ගුණ මෙනෙහි කරමින් බලන්නාට එයින් සිතතුල බුදු රජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවක්, භක්තියක් හා ගෞරවයක් ජනිතවේ. එහි සමබර තාවය ප්‍රකට කරන එක සාක්ෂියක් වන්නේ නාසය අගින් ගිලිහෙන දිය බින්දු හරියටම දෙපා අතරට පතිත වන ආකාරයෙන් නිම කිරීම දැක්විය හැකිය. එමෙන්ම ප්‍රතිමාව කුමන කෝණයකින් බැලුවද එය විකෘති නොවන ආකාරයෙන් දර්ශනය වනසේ නිම කිරීමද විශේෂත්වයකි.

මෙම බුදු පිලිමයේ පද්මාසනය යට ඝර්භ 25 කින් යුත් ඝර්භ පාත්‍රයක් තිබී ඇත. මෙහි ඒ ඒ ඝර්භයන්ට අධිපති දේව රුප නිධන් කොට තිබී ඇත. ඉන් අදහස් කොට ඇත්තේ බුදු රජාණන් වහන්සේ දෙවි බඹුන් ඉක්මවා සිටින බවයි.

කලකට පෙර මේ ප්‍රතිමාවට ගඩොලින් කළ ආවරණයක් ඉදිකොට තිබු අතර දැන් එය ඉවත් කොට ලෝහ ආවරණයක් ඉදිකොට ඇත

මෙම බුදු පිළිමය ගෞතම බුදුරජාණන් වාහන්සේගේ උස ලෙස පිළිගෙන ඇති රියන් දහ අට ඉක්මවා ඇති බැවින් හා දීපංකර බුදු හිමියන්ට හිමි අභය මුද්‍රාවෙන් නිමවා ඇතැයි කියන හෙයින් මේ දීපංකර බුදු පිළිමයක් යයි සමහරු අර්ථ දක්වති.

මේ බුදු පිළිමය බොහෝ විද්වතුන්ගේ සම්භාවනාවට පත්‍ර වී ඇත. අප මේ පිළිමය හුදෙක් වන්දනාවට හෝ රස වින්දනයට පමණක් භාජනය නොකොට හෙළ කලා කරුවා එයින් කියූ පණිවුඩය නියමාකාරයෙන් අවබෝද කරගෙන අපගේ විමුක්තිය සඳහා එය යොදාගැනීමට කටයුතු කළ යුතුවේ

Copyright © All rights reserved. | Newsphere by AF themes.