November 30, 2020

Kotuwa Paththare

Kotuwapaththare offical

කතරගම දෙවියන්ට දුටු ගැමුණු රජතුමා වෙච්ච පොරොන්දුව

1 min read

රුහුණු කතරගම මහසෙන් දෙවොලට අයත් කෝට්ටේ 6නි පරාක්‍රමබාහු රජු ලබාදුන් රන් සනන්ස අනුව මෙන්ම කහකුරුළු හා නීලකොබෝ යන සන්දේශ කාව්‍ය අනුවත් මුඛ පරම්පරාගත තොරතුරු අනුවත් කතරගම දේවාලයේ පාරම්පරික ප්‍රධාන කපු ධූරය දරා ඇත්තේ පුරාණයේ “අධිකරන අමාත්‍ය” යන ගරු නිලය හෙබවූ අධිකරාම්/ අධිකාරම්ගේ යන පෙළපත විසිනි.මෙම පෙළපතේ ඉතිහාසය රුහුණු කතරගම දේවාලය ඉදිකල දුටුගැමුණු රජතුමගේ සමය දක්වාම දිවයන අතර ඔවුන් නන්දිමිත්‍ර සෙන්පතිතුමන්ගෙන් පැවත එන පරපුරක් බවට තොරතුරු ලැබේ.

“දුටුගැමුණු මහ රජතුමා(ශ්‍රී බු.ව.704-674) විසින් රුහුණු මහා කතරගම දේවාලය කරවීම පිළිබඳ අදිකාරම් කපු පරපුරේ එන මුඛපරම්පරාගත ප්‍රවෘත්තිය සිත් ගන්නා සුළු එකක් වනවා සේම වඩාත් සුවිශේෂී ද වෙයි.එයට හේතුව වනුයේ එම ප්‍රවෘත්තිය මෙතෙක් කතරගම දෙවොල පිළිබඳ ලියවුනු කිසිඳු ඓතිහාසික ලේඛනයක සඳහන්ව නොතිබීමයි. එම මුඛපරම්පරාගත විස්තරයට අනුව දුටුගැමුණු නිරිඳුන් ප්‍රමුඛ යුධ සේනාව එළාර රජුට එරෙහිව මාගම රාජධානියේ සිට එළාරගේ දෙතිස් මහා බලකොටු බිඳ හෙළමින් විජිතපුර බලකොටුව කරා ගමන් කරමින් සිටියහ.එහිදී එක්තරා අවස්ථාවක පැවති යුධමය වාතාවරණය තමන් හට අවාසි සහගත තත්ත්වයක පවතින බැව් දුටුගැමුණු රජතුමාටම හැඟී ගියේය.

එහිදී කළ හැකිව තිබූ එකම කාර්යය වූයේ අමතර සේනා ලබා ගැනීම සඳහා නැවත මාගමට පැමිණීම පමණි.එහෙයින් රජතුමා සිය මවට හෝ සේනාවට හෝ නොදන්වා හොර රහසේම මාගම බලා පිටත්ව ගොස් ඇත. නමුත් මැණික් නදිය හෙවත් එකල කප්පා කන්දර නදිය අසළදී අනපේක්ෂිත සිදුවීමකට මුහුණ පෑමට රජතුමාට සිදුවිය. එනම් ග‍ඟෙන් එතෙර වීමට නොහැකි තරමට ජල පහරේ වේගය ප්‍රචණ්ඩව පැවතීමත්, ගඟ පිටාර ගැලීමත්ය. මේ අවස්ථාවේදී කර කියා ගත දෙයක් නොමැති වූ රජතුමාට තමන් තනි වී යැයි යන හැඟීමක් ඇති විණි.

එහෙත් එකවරම ජල පහරේ ‍වේගය අඩු වී ගොස් ගඟ පිටාර ගැලීමද නැවතී ගිය බැවින් එය කිසියම් ගුප්ත ක්‍රියාවක් නිසා සිදුවූවක් වන්නට ඇතැයි සිතූ රජතුමා ඒ පිළිබඳව විපරම් කොට බැලීමේ අටියෙන් ගං ඉවුර දිගේ ක්‍රමයෙන් පහළට ගමන් කොට තිබේ.එහිදී සුදුවතින් සැරසුණු වයස්ගත පුද්ගලයෙකු සුදු වැලිතලය මත භාවනානුයෝගීව සිටිනු දුටු රජතුමා මේ වනාහී ග‍ඟේජල පහරේ වේගය අඩුකොට ගඟ පිටාර ගැලීම නවත්වන ලද ගුප්ත බලයක් ඇති පුද්ගලයා විය හැකි යැයි සිතිණි. ඒ බව සැක හැර දැන ගැනීමේ අටියෙන් එම වයස්ගත පුද්ගලයා අසළට ගිය රජතුමා ඔහු කවරෙක්දැයි විමසා තිබේ. එම අවස්ථාවේදී වයස්ගත පුද්ගලයා එම ස්වරූපයෙන් බැහැරව දේව විලාශයෙන් පෙනී සිටියේය.

ඒ අයුරින් දුටුගැමුණු රජු හට දෘශ්‍යමාන වූ කතරගම සුරිඳුන් රජුට පවසා ඇත්තේ ගඟේ ජල පහරේ වේගය අඩු කොට ගඟ පිටාර ගැලීම නවත්වන ලද්දේ තමන් වහන්සේ විසින් වන බවයි. කතරගම වැඩහිටි කන්දෙහි(සිංහාසන කන්දෙහි.) වැඩ සිටින තමන් වහන්සේ හට දේවාලයක් කරවා දීමට රජතුමා පොරොන්දු වන්නේ නම් එළාර රජුට එරෙහි සටන ජය ගැනීමට උපකාර කළ හැකි බවද වැඩිදුරටත් පවසා තිබේ. ඒ අනුව කතරගම දෙවියන් හට දේවාලයක් කරවා දීමට පොරොන්දු වන ගැමුණු මහ රජතුමා අමතර සේනා ලබා ගැනීම පසෙක තබා නැවතත් යුද්ධයට ගොස් ඉන් ජය ලැබ වැඩිහිටි කන්දෙහි වැඩ සිටි කතරගම දෙවියන් හමුවට පැමිණ උන් වහන්සේ බැහැ දකිනු ලබයි.

එහිදී කතරගම දෙවියන් විසින් දුන්නෙන් හීයක් ඇද ඉහළ ආකාශයට විදිනු ලැබීමෙන් පසු එය ගොස් වැටුණු තැන රජතුමා විසින් රන්කොත් පළඳවා දේවාලයක් කරවන ලදි(මෙම හීය කඳ සුරිඳුන් විසින් දුටුගැමුණු රජුට ලබාදුන් පසු එම හීය විදින ලද්දේ දුටුගැමුණු රජු බවටත් ජනප්‍රවාද තිබේ). රුහුණු මහා කතරගම දේවාලය යනුවෙන් වර්තමානයෙහි අති මහත් ජනවන්දනාවට පාත්‍රව ඇත්තේ එම දේවාලයයි.”කතරගම දෙවොල රන් කොත් පැලඳු දේවාලයක් ලෙස ඉදිවීම පිළිබඳව ද ජනප්‍රවාදයක් තිබේ ඒ අනුව ඊට හේතුව මෙසේය:

යුද්දෙන් ජයගැනීමෙන් අනතුරුව වැඩිහිටි කන්දට පැමින අධිෂ්ඨාන කළ ගැමුණු රජු හට දෙවියන් දෘශ්‍යමාන විය.”මම ඔබවහන්සේට භාරය ඉෂ්ඨ කරන්නම්” කියා රජු පැවසූ කල දෙවියන් පිළිවදන් දුන්නේ “අනාගතයේ කළුවර කාලයක් එනවා.මේ කාලයේදී බිහිවන මිනිසුන් දෙමාපියන්ට සලකන්නේ නෑ.වැදගත් අයට සලකන්නේ නෑ.දෙවියන්ට සලකන්නේ නෑ.එයින් මට අපකීර්තියක් වෙනවා.

ඒ නිසා රන් උළු මාලිගයක් නෙමේ,රන් කොත් මාලිගයක් හදලා දෙන්න” යන අයුරෙනි.”ඔබ වහන්සේ වෙනුවෙන් දෙව් විමන හදන තැන පෙන්වා දෙන්න” කියා රජු ඉල්ලා සිටියේය.”හීයක් විදින්න,ඒ හීය වැටෙන තැන හදන්න” කියලා දෙවියන් උපදෙස් ලබා දුන්හ.එම ස්ථානයේ දුටුගැමුණු රජතුමා විසින් තමන්ට උපකාර කල කන්දේ සුරපති වෙනුවෙන් දේවාලය ඉදිකොට එම දේවස්ථානයේ ඉරහඳ පවතිනතුරු පවත්වාගෙන යාම සඳහා නිලදාරි මන්ඩලයක් ද පිහිටුවන ලදි.

Copyright © All rights reserved. | Newsphere by AF themes.