December 1, 2020

Kotuwa Paththare

Kotuwapaththare offical

කැබිලිත්තට යන්න කලින් කතරගමට පූජාවක් තියන්න

1 min read

“හරියට කළොත් කිරි ගහට ඇන්නා වගේ” කැබිලිත්තෙ යන කාටත් මේ කතාව පොදුයි. සිතන දේ හරියනවා. පතන දේ ඉටු වෙනවා. ඉල්ලන දේ ලැබෙනවා. මේ එක පැත්තක්.

ඊළඟට කැබිලිත්ත දේවාලයක් හැටියට ගැනුණත් දේවාල ගොඩනැගිලි කිසිවක් නෑ. කපු මහත්තුරු නෑ. ජනාකීර්ණ නෑ. මහා වනයක් මැද හුදෙකලාවේ පිහිටි වන සතුන්ට ඇළදොළ ගංගාවලට නිජ භූමියක් වුණු ඉතාම සුන්දර තැනක්.

හරියටම කියනවා නම් කුමනයි යාලයි සම්බන්ධ වෙන තැන. කුඹුක්කන් ඔය අසබඩ යාල ජාතික වනෝද්‍යානයේ පස් වැනි කාණ්ඬේට අයිතිය.

මේ සේරමත් එක්ක කැබිලිත්ත ගැන ලස්සන කතා ගොඩක් තියෙනව. ඒ කතාන්දර ඔස්සේ කැබිලිත්තට යනවා මිස ආවාට ගියාට කාටවත් කැබිලිත්තට යන්න බෑ. ඒ තරමට දේව හාස්කම ප්‍රබලය. සොබා දහමත් භයංකාරය.

සමහරු කැබිලිත්තට යන්නේ විනෝදයට. තවත් අය යන්නෙ දෙවියන්ගේ සත්‍යය හාස්කම් බලන්න. තවත් අය “මේ කියන කතා ඇත්තද බලන්නත්” යනවා. ඇතැම්හු මුල ඉඳන්ම කට වරද්දාගෙන කැබිලිත්තට යනවා. ඒ හුඟාක් අයට කැබිලිත්ත පාරෙදි හෝ දඩුවම් ලැබෙනවා. ජල දුර්ග, ගිරිදුර්ග මැද්දෙ කාත් කවුරුවත් නැති කැලේක අසරණ වුණු එවැනි කණ්ඩායම් පමණක් නෙවෙයි. මද්දුගෙන් කරදර කරගත් අයත් ඉන්නවා. මද්දු කියන්නෙ කැබිලිත්ත අවට ඉන්න හස්තියෙක්. මේ සේරම කතා ඔබට අපි දිග හරින්න සූදානම්. කැබිලිත්තට යන්න ඕනෑ හැටි, එහි පිළිවෙත් හා පුද පූජා ක්‍රමවේද, ඒ භූමියේ සැරිසරිය යුතු රටාව, ඇඳිය යුතු වස්ත්‍ර, මද්දු දුන් කරදර, ස්වභාවික හා අදෘෂ්‍යමාන විපත් ආදී බොහොමයක්.

මේ ගැන කතාකරන්න අපි සම්බන්ධ කර ගත්තේ කැබිලිත්ත දෙවොලේ නිතර පුද පූජාදිය සිදු කරන මාළඹේ රොබට් ගුණවර්ධන මාවත සිතුමිණ ශාන්ති පූජාසනයේ එම්. බණ්ඩාර මහතාවය.

කතරගම දෙවියන් එදා සිට අද දක්වාම ජීවමාන ස්ථානයක් හැටියට කැබිලිත්ත සලකයි. කතරගම දෙවියන් අතීතයේ සිටම භාවනායෝගීව වසන්නට තෝරා ගෙන සිටින්නේ කැබිලිත්තය. ඒ නිසා උන්වහන්සේගේ අධ්‍යාත්මික ශක්තිය වඩාත් පණ පෙවුණු ස්ථානයක් හැටියට තතු දන්නෝ කැබිලිත්ත කෙරේ විශ්වාසය තබති.

ඕනෑම කෙනෙක් භාවනායෝගී වූ විට ඔහුගේ අධ්‍යාත්මික භාවය, සංයමය, ඉවසීම හා ශක්තිය වඩා ගැඹුරට දිවෙයි. එවැනි මොහොතක ඒ ඒ අය ගන්නා තීරණ යහපත් වේ. අනෙකා විෂයේ ගන්නා තීන්දු යහපත් වේ. අනෙකාගේ දුකක් දුක් ගැනවිල්ලක්, ලෙඩක්, දුකක් කරදරයක් කීවද පිහිට විය හැක්කේ නම් පිහිට වීමට සිත්දෙයි. භාවනාවෙන් අධ්‍යාත්මික සංයමය කරා ගිය මොහොත ඒ සා ප්‍රබලය. හැකි නම් ඔබටද එය අත්දැක බැලිය හැකිය.

කතරගම දෙවියන් භාවනායෝගී වන කැබිලිත්ත ද ඒ සා ප්‍රබලය. මේ නිසා උන්වහන්සේට නිසි පුද පූජා පිළිවෙත් පේ වීමෙන් සිදු කරන අයට මහත් ඵල ප්‍රයෝජන කැබිලිත්ත භූමියෙන් ලද හැක්කේ වෙයි. එය ආවාට ගියාට සිදු නොවිය යුතු බැවින් මේ පිළිබඳ නිවැරදි මග පෙන්වීමක් ඔබට කරමු.

කැබිලිත්ත පුද බිමට යාමට මාර්ග කීපයක් තිබේ. එකක් පානම කුමන පාරෙනි. තවෙකක් යාල වනෝද්‍යානය හරහාය. ගල්ගේ හරහාද යා හැකිය. කෙටියාගල පාර තවෙකකි. මෙයින් කෙටිම පාර ගල්ගේ පාරයි. නමුත් එය තාවකාලිකව වසා ඇත. කුමන පාරද දැනට තහනම් කර ඇත. මේ නිසා කොටියාගල පාරෙන් ඉතා දුෂ්කර මාර්ගයක ගිරි දුර්ග, වන දුර්ග, ජල දුර්ග පසු කරගෙන කැබිලිත්තට යාමට බැතිමතුන්ට සිදුවේ.

කැබිලිත්තට යන අය සති 3-4ක් වත් අවම වශයෙන් ‘පේවීම’ පිරිසිදු වීම කළ යුතුය. එහි පළමුවැන්න දෙවියන් භාවනායෝගිව ජිවමානව වැඩ සිටින තැනට තමන් යන බව හද පත්ලෙන්ම දරාගෙන අවබෝධ කරගෙන විශ්වාසයට පැමිණ සිටීමයි.

‘මම යන්නෙ ව්‍යාපාරය සාර්ථක කර ගන්න ඕනෑ නිසා, විවාහය හරි යන්න, රස්සාව උසස්වීමක් ගන්න, මන්ත්‍රීකම ඇමතිකමක් කරගන්නය, ගෙදර ප්‍රශ්න කරදර වැඩි නිසා, හැමදාම ලෙඩ දුක් නිසා,’ වැනි පෘථග්ජන අරමුණු ඔබට තියෙන්නට පුළුවන. ඒ පෘථග්ජන අරමුණු දෙවැනි තුන්වැනි තැනට තබා දෙවියන් භාවනා යෝගී තැන බව අමතක නොකර ඒ විශ්වාසය තබා එහි යා යුතුය.
එම නිසා පේ වීමේ මූලිකාංගය සම්පූර්ණයෙන්ම අදාළ කාලය නිර්මාංශ වීමයි. මස් මාළුවලින් බඩ කුණු කරගත් අයට කැබිලිත්ත තහනම් වේ. ඒ තහනම කර ඇත්තේ ස්වභාව දහමෙනි. අදෘෂ්‍යමාන බලවේගවලිනි. ඊළඟට අදාළ කාලය කොටහළු, මළ ගෙවල්, උපත් දරු කිල්ලෙන් බේරී සිටිය යුතුය. හැකි තරම් සුදු වත දරමින්, ගෙදර දොරද පන්සලේද දේවාලයේද පින්කම් පුද පූජා කරමින්, මානුෂිය ගුණාංග සංවර්ධනය කර ගැනීම, තිදොර සංවර කරගැනීම අත්‍යවශ්‍ය වේ. එසේම කතරගම දෙවියන් කෙරේ දැඩි භක්තියෙන් එම කාලය ගෙවිය යුතුය.

එවැනිහුට පමණක් කැබිලිත්තට කරදරයකින් තොරව ළඟා වීමට පිළිවන්කම ලැබේ. එසේ නොවුණොත් සොබා දහමත් අදෘෂ්‍යමාන බලවේගත් යන දෙකම මහ ගිරිදුර්ග, ජල දුර්ග, වන දුර්ග මැද අසාමාන්‍ය කරදර කරන බවට මතයක් ස්ථාවරව තිබේ. කැබිලිත්ත අනාදිමත් කාලයක පටන් පැවැති පුද බිමක් වේ.

ලංකාවට ලන්දේසි ආක්‍රමණය පැමිණි එක්දහස් හයසිය ගණන්වලදී ඔවුහු රුහුණේ කතරගම දේවාලය ඉලක්ක කළහ. කතරගම දේවාලයට පහරදී එහි වස්තුව හා දේවාභරණ උදුරා ගැනීම ලන්දේසීන්ගේ උපාය විය. මේ බව දැන ගත් කපු මහත්වරු දේවාභරණ තැන්පත් කිරීමට සුදුසුම ස්ථානය සොයා බැලූහ. ඒ අවස්ථාවේ කපු මහත්වරු දේවාභරණ තැන්පත් කිරීමට තෝරා ගත්තේ කතරගම දෙවියන් ජීවමානව වැඩ සිටින කැබිලිත්තයි. එහි සියඹලා ගසේ දේවාභරණ තබා පූජෝපහාර පවත්වා ආරක්ෂා කරගෙන ඇත.

මේ ඉපැරණි සියඹලා ගස නිසා කැබිලිත්ත “සියඹලා දේවාලය” ලෙසද පුරාතණයේ සිට හඳුන්වනු ලබයි.

කතරගම දෙවියන් දකුණු ඉන්දියාවේ සිට ලක්දිවට ගොඩබට ස්ථානය ලෙස සලකන්නේ කුමන වනෝද්‍යානයේ කුඹුක්කන් ඔය අසළ ඔකඳ දේවාලයයි. මෙහි දැනුදු ඉපැරණි දේවාලය පිහිටා ඇත්තේය. ඔකඳ ශ්‍රී මුරුගන් දේවාලය යනු මෙයයි.

කතරගම දෙවියන් ඊළඟට කැබිලිත්තට ගොස් විවේකීව හා භාවනායෝගිව ගතකර ඇත. එදා වැසි දිනයක් විය. එතුමන්ට තම බිරිඳ වන වල්ලි මාතාව මෙහිදී මුණගැසුණු බව කියැවේ. කතරගම දෙවියන් හා වල්ලි මාතාව මුලින් හමුවූ ස්ථානය ලෙස පිළිගන්නේ ද කැබිලිත්ත සියඹලා ගස මුලයයි.

එදා පටන් කතරගම දෙවියන් මෙහි ජීවමාන වූහ. විවේකී සෑම මොහොතකම භාවනායෝගී වූහ. හාත්පස පරිසරයේ පවතින නිස්කලංකභාවය, සිහිල් මඳ පවන ඊට මනා පසුබිමක්ද සකස් කළහ.

අතීතයේ අද තරමට කැබිලිති දේවාලය රටපුරා ජනප්‍රිය නොවිණ. එදා පානම් පත්තුවේ වැසියෝත් රුහුණේ වැසියෝත් අලුත් සහල් මංගල්‍යය පැවැත්වීම සඳහා ගියේ කැබිලිත්තටය. තමන්ගේ ගම් බිම් පාළුවෙද්දී, භව බෝග නොයෙක් උපද්‍රවවලින් විනාශ වෙද්දී තම දුක කැබිලිත්තට ගොස් කියා පෑවෝය. කුඹුරු සරුසාරවී හේන්වල භව බෝග පිරුන විට මෙහි ගොස් දෙවියන්ට පළමුව පුද පූජා පැවැත්වූහ. ඒ අනුව සිරිතක් ලෙස අලුත් සහල් මංගල්‍යය අනාදිමත් කාලයක සිට කැබිලිත්ත කේන්ද්‍ර කරගෙන සිදුව ඇත.

හුදෙක් එය පානම හා රුහුණු වැස්සෝ සිදු කළේ ඉතාම සංයමයෙන් හා ඉවසීමෙන් යුක්තවය. දෙවියන් භාවනාවෙන් වැඩ සිටින නිසා ඊට කරදර නොවන පරිදිය.

පේවී විනීතව කැබිලිත්තේ යම් පුද පූජාවක් කළොත් එය ඉතා ඉක්මනින් සපල වෙන බව පානම් පත්තුවේ වැසියෝ පරම්පරා පිටින්ම දැඩිසේ ඇදහුවෝය.

මෙම ස්ථානය කතරගම දෙවියන්ගේ අධ්‍යාත්මික බලවේගය නොඅඩුව පැතිර ඇති තැනෙකි. විශ්ව ශක්තිය කේන්ද්‍ර ගත වූ තැනකි. එබැවින් පිහිට ගැන සැකයක් නැත.

කැබිලිත්තට යන අය පළමුව කළ යුත්තේ සති ගණනාවක් ඒ වෙනුවෙන් පේවීමය. ඊළඟට කැබිලිත්තට යාමට පෙරාතුව කතරගමට පැමිණිය යුතුය.

එහිදී කතරගම දෙවියන්ට පින් පැමිණවීම පිණිස කිරි වෙහෙර අභියසදී විශේෂ පූජාවක් සිද්ධ කළ යුතුය. ඉන් අනතුරුව කතරගම අෂ්ඨපල බෝධිය ළඟ බෝධි පූජාවක් තබා භාවනායෝගීව සිටිමින් සිත එකඟ කරගෙන වඩාත් පිරිසිදු භාවයට පත්විය යුතුය.
සෙල්ලකතරගම ගණදෙවි කෝවිලට ගොසින් පොල් ගසා පුද පූජා කර ගණ දෙවියන්ගෙන් අවසර ලබා කැබිලිත්තට යන ගමන ආරම්භ කළ යුතුය.

එම ගමන් මගෙහි ගල්ගේ ආසන්නයේ ඇති ගණ දෙවි කෝවිල ළඟ මල් පහන් තබා පඩුරු දමා කොළ අතු එල්ලා ගමන පිටත් වන්නේ දේව භක්තියත්, දේව විශ්වාසයත්, සංයමයත්, පිරිසිදු භාවයත් පිරී ඉතිරී යන පරිද්දෙනි. එවැනිහුට ජීවිතය දිනාගෙන එන්නට එයම ඇත.

Copyright © All rights reserved. | Newsphere by AF themes.