December 1, 2020

Kotuwa Paththare

Kotuwapaththare offical

කැබිලිත්තේ දිවුරුම් ගලේ රහස

සංසාරේ මොනතරම් පින් කරල තිබුණත් ඕනෑ වෙලාවේ “පින්” පළ දෙන්නෙ නැත්නම් වැඩක් නෑනේ. හැමදාම අපල, ලෙඩ දුක්, කරදර කියන්නෙ සසර පුරා කරපු අකුසල් විපාක දෙන කාල සමයක්. සමහරුන්ට ඔළුව උස්සගන්න බෑ “මැරෙන්න හිතෙනවා ප්‍රශ්න වැඩිකමට” ඇතැම්හු යන්තර දානවා, සෙත් කවි කියනවා මේ එක පැත්තක් ඉදිරියට දෙවියන්ට පුද පූජා කරලා සංසාරේ පින් ඉස්මතු වෙන්න කියලා භාරහාර වුණොත් ඒක ඉෂ්ට වෙනවා. කැබිලිත්ත කියන්නෙ එහෙම තැනක්.ජීවිතේ ගින්දර ගොඩක් මැද්දෙ ගිහින් මේක නිවල දෙන්නය කියල කතරගම දෙවියන්ගෙන් ඉල්ලුවොත් ඒ දුක්ගිනි ඉක්මනින් නිවා දාන තැනක්. ඊට හේතුව උන්වහන්සේ කැබිලිත්තේ ජීවමානව වැඩ සිටිමින් භාවනානුයෝගී බව පිළිගන්නා නිසා.

සසරෙ කරපු පවු එහා මෙහා කරලා අපි කළ පින් ටික ඉස්සරහට ගන්න අපට බෑ. හැබැයි අදෘශ්‍යමාන බලවේග මේ දේවල් යම්තාක් සිද්ධ කර දෙනවා. හැබැයි මේ කියන්නෙ සේරම ජරා වැඩ කරල ගියත් බේරල දෙනවා කින එක නෙවෙයි. පෙර කළ පව් පලදීම ටිකක් පසුගාමීවෙලා පින් මෝදු වෙනවා. එතකොට නැතිවෙන්න ගිය සැප සම්පත් ලැබෙනවා. සතුට උදාවෙනවා. මිල මුදල් ලැබෙනවා. තනතුරු තානාන්තර ලැබෙනවා. ඒවා ලැබිය යුතු කාලෙ ලැබෙනවා මිස මැරෙන්න කිට්ටු වෙලා ලැබිලා වැඩක් නෑනෙ. කැබිලිත්තෙ වටිනාකම තියෙන්නෙ එතැනටයි. අද මේ ලිපි මාලාවේ දෙවැනි කොටස.කතරගම දෙවියන්ට අමතරව කැබිලිත්තේ ජීවමාන තවත් සුවිශේෂ දේව ආත්මයක් සාකච්ඡාවට ගැනේ

එනම් කැබිලිත්තේ රාලගේ දේව ආත්මයයි.ලන්දේසි ආක්‍රමණිකයන් රුහුණු කතරගම දේවාලයේ ආභරණ හා වස්තු සම්භාරය කොල්ල කන්නට එද්දී දේවාලයේ කපු මහත්වරු දේවාභරණ සුරක්ෂිතව තැබූ කැබිලිත්තේ සියඹලා වෘක්ෂයේ පැවති බෙනයේය.මහ වන මැදට සතුරන් නොපැමිණේය යන්න ඔවුන් විශ්වාස කරන්නට ඇත. වන මැද දේවාභරණ තැබුවද ඒවා රකින්නට ඉදිරිපත් වූයේ කැබිලිත්තේ රාලය.වන මෘගයන් ඇති මහ වනයට හේ පුරුදු කාරයෙකි. එසේම නිර්භීත හැඩි දැඩි පුද්ගලයෙකි.

ලන්දේසීන් සමඟ කළ රුහුණු සටනේදී කැබිලිත්ත රාල අතින් ලන්දේසීන් දරුණු පරාජයක් ලැබූ බව කියැවේ.එනමුත් සටනේදි ඇති වූ බරපතළ තුවාල හේතුවෙන් කැබිලිත්ත රාල මියගියේය. දේවාභරණ ආරක්ෂා කර ගැනීමට දිවි හිමියෙන් සටන් කළ ඔහු මරණින් මතු කැබිලිත්තේම දේව ආත්මයක් ලද බව කියැවේ. අදටත් කැබිලිත්තට උවදුරු කරන්නට එන අයට කැබිලිත්ත ගැන දොස් නගන අයට ඒ ගැන අවිශ්වාසයෙන් එන අයට කැබිලිත්ත විනාශ කරන අයට මේ දේව ආත්මය යම් යම් තරවටු තබන බව මතකයට ගත්තාට වරදක් නැත.

ඒ නිසා කැබිලිති වන්දනාවේ යන අය කැබිලිති රාල දෙවියන් මතක් කිරීම, පුද පූජා කිරීම පින් අනුමෝදන් කිරීම නිතැතින් කරන්නකි.කැබිලිත්තේ ඇති සුවිසෙස් හාස්කමැති තැනක් හැටියට දිවුරුම් ගල හැඳින්විය හැකිය. යමෙක් තමන්ගේ අරමුණක් සිතේ තබා ගලෙහි අත තබා දිවුරීමක් කළොත් එය ඉෂ්ට වෙන බවට දැඩි විශ්වාසයක් පවතී. බොරු දිවුරුම් කරන අයට ද “පන්න පන්නා” පහර ලැබෙන බවද සත්‍යයකි.තමන් කොයිතරම් සත්‍ය වුව ද, සත්‍ය බව කීව ද ලෝකයා එය නොපිළිගන්නා අවස්ථා පවතී.

එවැනි තැන්හිදී කැබිලිත්ත දිවුරුම්ගල තමන්ට සරණක් වන බව පානම්පත්තුවේ වැසියෝ විශ්වාස කරති. එම නිසා නිකරුණේ අපකීර්තියට පත් වූ අසාධාරණ හේතු මත නඩු හබවල පැටලුණු අය දිවුරුම් ගලේ අත තබමින් තමන්ගේ සත්‍ය භාවය දිවුරමින් තමාට ගැලවීමට මඟ උදා කර දෙන්නැයි ඉල්ලා සිටිති. එවැනි අය කැබිලිත්ත වන්දනාවේ ගොස් ගෙදර එන්නටත් පළමුව යුක්තිය අයුක්තිය නිසි ලෙස ඉටුවුණු කතා ඕනෑ තරම් තිබේ.දුකට පත් නිර්දෝෂීන්ගේ අදෘශ්‍යමාන පිළිසරණ කැබිලිත්ත දිවුරුම් ගලය. එසේම මෙතෙක් වැරදි කළ කෙනෙකුට මින් ඉදිරියට කිසිම වරදක් නොකරන්නේ යැයි දිවුරීමට ද මෙතැන භාවිතා වේ.

මත් ද්‍රව්‍ය පානය කළවුන්, අවි ආයුධ හා ගනුදෙනු කළවුන්. ආදීහු පේවී පැමිණ තමන් මින් ඉදිරියට නිර්දෝෂ අයකු වන බවට දිවුරා යති. එය එසේම විය යුතුමය. ප්‍රලාපයක් වුවහොත් ඉතාම දරුණු විපාක විඳීමට මෙයම හේතු විය හැකිය.කැබිලිත්තේ බොරුවට දිවුරූ අය අංශභාග සැදී කතා කළ නොහැකිව, රිය අනතුරු සිදුවී කල්පනාව නැතිවී ශරීර අභ්‍යන්තරයේ ගෙඩි හටගෙන බාහිර සිරුරේ දරුණු තුවාල හටගෙන, සිඟමනට වැටුණු කතා ඕනෑ තරම් ඇත. මේ පිළිබඳ කතා පසු ලිපි වලින් කියැවිය හැකිය.කැබිලිති භූමියට ප්‍රවිශ්ට වෙන විට කොළ අතු කඩා කැලේ භාර දෙවියන්ගෙන් අවසර ලබා ගනී. ඉන් තමන්, දේවාලයට ගිහින් එනතුරු නර ප්‍රාණීන්ට අනතුරු, උවදුරු නොවී ආරක්ෂා කරන්නැයි කරන ඉල්ලීමකි.

කැබිලිති දේවාලයට ඇතුළු වූ තැන සිට කතා කරන වචනද, තමන්ගෙ ක්‍රියාවන්ද ඉතා පරිස්සම් සහිතව හැසිරවිය යුතුය. එසේ නොවුණු අයට කැබිලිත්තේදීම බොහෝ හානි උවදුරු සිදුවී ඇත. මද්දු නම් අලියා එවැන්නන්ට කැලේ අතරමංවන පරිදිම එළව එළවා පන්නා කැබිලිත්ත පෙදෙසෙන් මහ වනයට පලවා දමා ඇත. මද්දු හැම විටම කැබිලිති දේවාලය අවට ගැවසෙන භාරකාරයකු වැන්න.තම තමන් ගෙන යන බඩු බාහිරාදිය කුඹුක්කන් ඔය අසල තබා එතැනදී පිරිස කේන්ද්‍ර ගත වීමක් වේ. එතැන සිට තමන්ගේ ආරක්ෂාව තමන් සතුය. බොහෝ අය කුඹුක්කන් ඔය අසල තමන්ගේ ආහාර වේල සකසා එය අනුභවකොට දිය ස්නානය කරති.

කුඹුක්කන් ඔයෙන් දිය නා පිරිසිදු වෙන අය සුදු තැඹිලි, කහ වැනි වර්ණයකින් සැරසී තවදුරටත් පේ විය යුතුය.අවිස්සාවේල්ලේ මුණ්ඩිගල නායක හාමුදුරුවන් අප සමඟ ප්‍රකාශ කළේ අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධියෙන් හටගත් අෂ්ට ඵල බෝධියෙන් එකක් කැබිලිත්තේ රෝපිත බවය.මේ අෂ්ටඵල බෝධිය පිහිටි ස්ථානය කතරගම දෙවියන් තමන්ගේ හුදෙකලා භාවනා යෝගී කේන්ද්‍රස්ථානය කර ගන්නට ඇති බව උන්වහන්සේ ප්‍රකාශ කරන්නාහ. එම නිසා භික්ෂූන් වහන්සේලාද කැබිලිත්තේ වැඩම කරන්නාහ.

එසේ යන ඇතැම්හු කහ දියරයෙන් යුත් වතුර කළයක් නා පේවෙන බව මුණ්ඩිගල නාහිමියෝ පැවසූහ.මුලින්ම සිදු කරන්නේ ඔයෙන් එගොඩ පිහිටි ඉපැරණි ඇසතු බෝධිය සඳහා ශ්‍රේෂ්ඨ වූ බෝධි පූජාවක් පැවැත්වීමයි. මේ සඳහා බොහෝ වන්දනා නඩ බෝධි පූජාවට භික්ෂූන් වහන්සේ නමක් වැඩමවා ගනිති. බෝධි පූජාව ක්‍රමානුකුලව සෙත්පිරිත් සජ්ඣායනයක් කෙටි භාවනාවක් සිද්ධ කරති.

ඉන් පසු දෙවියන්ට පින් දී මුරුතැන් පූජාව සෑදීම ආරම්භ කරති.මුරුතැන් පූජාව සඳහා ඇතැම් අය ඔයේ කුඩා වළක් හාරා එයට සැණින් උණන නැවුම් ජලය නැවුම් භාජනවලට පුරවා ගන්නා බව හාමුදුරුවෝ සිහිපත් කළහ.කැබිලිති දේවාලයේ මුරුතැන් පූජාව නිසි පරිදි සූදානම් කර ගන්නේ කෙසේද? එහි නිතර යමින් එමින් පුද පූජා සිදු කරන එම්. බණ්ඩාර මහතාගෙන් මම විමසීමි.මුරුතැන් පූජාව සඳහා අවශ්‍ය කළමනා ලැයිස්තුව එහි යාමට පළමුව සූදානම් කරවා ගත යුතුය.ඒ සඳහා අවශ්‍ය ලැයිස්තුව මෙසේය. නැවුම් මැටි මුට්ටියක්. අලුත් පොල්කටු හැන්දක්, සුවඳැල් හාල්. රට ඉඳි, වියළි මිදි, මුං ඇට, සූකිරි, කජු, එනසාල්.

පොල්කිරි, කල්කිරි, මී පැණි, කිතුල් පැණි, කිතුල් හකුරු සඳුන් හා කුරුඳු දර අවශ්‍ය පමණට භාවිතා කළ හැකිය.මෙය සිදු කරන්නේ උඩු වියන් බැඳ, හිසට පලඳනාද, මුඛවාඩම්ද බැඳ පිරුවට ඇඳි පිරිමින් විසින් දැඩි භක්ති පෙරදැරිවය.මුරුතැන් පූජාව සකස් කරන තැන ළිප මත සිවු කොනෙහි පහන් දල්වයි පූජාව ඉදවන්නේ සඳුන් හා කුරුඳු දර වලිනි. භාජනය ළිප මත තබා සියල්ලෝ ඊට නමස්කාර කර කටයුතු ආරම්භ කරති.පිරිසක් මුරුතැන් පූජාව සකස් කරන අතරේ තවත් පිරිසක් පෙර පරිදිම මුඛවාඩම් බැඳ සුගන්ධවත් පලතුරු පූජාව සකස් කර ගනිති.මේ සඳහා රතු වරකා සූදානම් කරගත හැක්කේ නම් එය ඉතා අගනේය.

රතුවරකා නොමැති නම් සාමාන්‍ය වරකා, දෙළුම්, අඹ, දිවුල්, නාරං, රත් කෙසෙල්, ඇඹුල් කෙසෙල්, බෙලි, අන්නාසි, ආදී පලතුරු ඔබට එකතු කරගත හැක.බණ්ඩාර මහතා පවසන පරිදි කැබිලිති පූජා වට්ටියට ජම්බල හා කොමඩු එක් නොවිය යුතුය. කොමඩු පුහුල් පවුලේය. පුහුල් කැපිලි ශාන්තිකර්මයේ අංගයක් නිසාත් සුවඳ අහිමි පලතුරක් නිසාත් එය ඉවතට යේ.ලබන සතියේ කැබිලිත්තේ මුරුතැන් පූජාව තබන හැටි හා ප්‍රාර්ථනා කිරීම් හා දෙවියන්ට පින්දෙන නියම ක්‍රමවේදයතොරතුරු: මාළඹේ, රොබට් ගුණවර්ධන මාවතේ, සිතුමිණ ශාන්ති පූජායතනයේ එම්. බණ්ඩාර මහතා

Copyright © All rights reserved. | Newsphere by AF themes.