December 1, 2020

Kotuwa Paththare

Kotuwapaththare offical

කුවේණිය හෙළ දීපයට ශාප කරාද?

1 min read

රාවණා රජ්ජුරුවන්ගෙ පුතෙක් තමයි උපේන්ද්‍ර මිණික. ඔහු අයිති රවිශෛලාෂ පරපුරට. රවිශෛලාෂ කියන වචනෙ සිංහල තේරුම වෙන්නේ ඉරුගල් බණ්ඩාර කියන නම. මේ ඉරුගල් බණ්ඩාර එහෙමත් නැතිනම් රවිශෛලාෂ පරපුරේ හිටියා විකුම්ඨභද්‍ර කියලා යක්‍ෂ සෙන්පතියෙක්. ඔහු රාවණා පරපුරේ ප්‍රාදේශීය රාජ්‍ය පාලකයෙක්. ඔහුගේ පාලන කාලයේ තමයි බුදුන් වහන්සේ ලංකාවට වැඩම කළේ.

මසිතිපාලි කියන්නේ රාවණාගේ පරපුරේ ඒ කියන්නේ යක්‍ෂ ගෝත්‍රික පරපුරේ කාන්තාවක්. ඇය රාවණාගේ ඥාතිවරියක්. මේ මසිතිපාලි විවාහ වෙන්නේ විකුම්ඨභද්‍ර සෙන්පතියත් එක්ක. මේ විවාහෙන් මේ දෙන්නට දරුවෙක් ලැබුණා. ඇය දියණියක්. මේ දියණියගෙ නම තමයි කුවේණි.

ඇයට කුවේණිය කියලා කිව්වට ඒක ඇත්ත නම නෙවෙයි. ඇත්ත නම වුණේ කෞරාණපාලි කියන නම. මේ කෞරාණපාලි තමයි පසු කාලෙක මහාපාලි වුණේ. ඇයට ඒ නම ලැබුණෙ ප්‍රාදේශීය පාලක තනතුරක් ලැබුණ හින්දා. කුවේණිට විජය මුණගැහෙන්නේ ඇය අධිපතිකම් කරපු ප්‍රදේශයේදි. විජය ලංකාවට එනකොට කුවේණි කපු කටිමින් හිටිය බව ඇත්ත. ඒ වුණාට ඇය ඒක කළේ වෘත්තීය මට්ටමින් නෙවෙයි.

හෙළ කුල සිරිත් අගයන කාන්තාවන් විවේකය ගත කළේ යම්කිසි වැඩක නිරත වෙමින්. කුවේණිය විවේක ගත්තේ කපු කැටීමෙන්. ඒකට හේතුව වුණේ කුවේණිගේ පරිපාලන විෂයක් විදියට කපු කර්මාන්තය තිබුණු හින්දා. දේශීය කර්මාන්තයක් වුණු කපු කර්මාන්තය නඟාසිටුවීම ඒ රාජකාරියේ ප්‍රධාන කොටස වුණා.
කුවේණියට හිටියා නංගි කෙනෙක්. ඇගේ නම වුණේ සත්තමුදී. මේ සත්තමුදී කියන්නෙ ඉසිවර භාවයට පත්වෙච්ච තැනැත්තියක්. මේක පැහැදිලිවම ලංකා-ඉන්දියන් ඉතිහාසයේ ලියැවිලා තියෙනවා. මේ සත්තමුදි කියන ඉසිවරිය මානාකන්දේ වැඩ සිටියා. ඇය වැඩ සිටි අසපුව අදටත් තියෙනවා මේ මානාකන්දේ නෂ්ඨාවශේෂ නටබුන් අස්සේ.

මේ කුවේණිය විජය එක්ක විවාහ වෙන එකට කුවේණියගෙ පැත්තෙ නෑදෑයො තනිකරම විරුද්ධ වුණා. ඒක එහෙම වුණේ කුවේණි අයිතිවෙච්ච රාවණා පරපුර හිස් මුදුනින්ම යක්‍ෂ ගෝත්‍රික සිරිත් විරිත් ආරක්‍ෂා කරපු, ඒ වෙනුවෙන් ජීවිතේ පුදන්න හරි සූදානම් වෙලා හිටිය ගෝත්‍රික පිරිසක් හින්දා. ඔවුන් ඉතාමත් තදබල විදියට අදහපු දෙයක් තිබුණා.

ඒ යක්‍ෂ ගෝත්‍රික සිරිත් විරිත් කඩන ඕනෑම කෙනෙක් යක්‍ෂ ගෝත්‍රික පරපුරෙන් නෙරපා දැමිය යුතුයි කියන නියමය. යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ පරම්පරා ඉතිහාසය ලියැවිච්ච වරිග පූර්ණිකා පුස්තකයේ ඒක ලියැවිලා තියෙන්නෙ මේ විදියට. වංශික සංස්කෘතිය අනුව ජීවත් විය යුතුය. නොගැළපෙන ගෝත්‍රයන් හා විවාහ නොකළ යුතුය. පරපුරේ අනන්‍යතාව සුරැකිය යුතුය. පරපුර පාවා නොදිය යුතුය. අන්‍ය ජාතික චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය නොකළ යුතුය. අන්‍ය ගෝත්‍රිකයන්ට යටත් නොවිය යුතුය.
කුවේණි මේ යක්‍ෂ ගෝත්‍රික චාරිත්‍ර වාරිත්‍රවල මූලධර්මයන්ගේ ඉඳලා අනෙකුත් නීතිරීති කඩලා තමයි විජය එක්ක විවාහ වෙන්නෙ. මේ හේතුව උඩ කුවේණිය යක්‍ෂ ගෝත්‍රික පරපුරෙන් එළවනවා. වරිග තහංචි පනවනවා. වරිගෙන් පිටකරපු කුවේණි විජයත් එක්ක ජීවත් වෙනවා. මේ වරිග තහංචි පනවන්නෙ වරිග සභාවක් කැඳවලා. ඒකෙදි දෙපැත්තෙම කරුණු විමසලා.

යක්‍ෂ ගෝත්‍රික වරිගෙන් පන්නපු කුවේණිය විජයත් එක්ක ජීවත් වුණත්, අන්තිමට විජය ඇය අතහරිනවා. මෙතැනදී විජය ඇය අතහැරපු හේතු මොනවද කියලා පැහැදිලි වෙන්නෙ නෑ. ඒ වුණාට විජය පඬුවස්නුවරදී ඉන්දියාවෙන් ගෙන්නපු භද්දකච්චානා කුමරියත් එක්ක විවාහ වෙනවා. තමන්ගෙ වරිගෙත් එපා කියලා විජයත් එක්ක ආපු කුවේණි මෙතැනදී තවත් අසරණ වෙනවා.

එතැනදී කුවේණිගේ හිතේ නැඟෙන්නේ වෛරයක්. පළිගන්න චේතනාවක්. ඒ වෙලාවෙ කුවේණි සාප කරනවා. වරිග පූර්ණිකාවෙ එන කුවේණිගෙ සාපය පටන් ගත්තෙ ඒ විදියට. මේ වෙලාවෙ කුවේණි සාප කළේ විජයට විතරක් නෙවෙයි. ඒ සාපය තුන්ගොල්ලකට වැදුණා. වරිග පූර්ණිකා පුස්තකයේ ඒක කියන්නෙ මේ විදියට.

යක්‍ෂ ගෝත්‍රික පරපුරට කළ සාපය.විජයගේ පරපුරට කළ සාපය.විජය කුවේණිගේ පරපුරට කළ සාපය.

කුවේණිගේ මේ තුන් පරපුරට කරපු සාප එක්කම එදා හෙළ දිවයිනටත්, ඈ ලංකාවටත් සාප කළා. ඒ සාපය හරි භයානකයි. කෲරයි. කුවේණි ඒ සාපෙ කළේ ඇඟේ උතුරලා කකියන ලේවලට එකතු කරලා. එහෙම සාප කරපු කුවේණි ඉතා බිහිසුණු සාප නවයක් කළා. කුවේණි එදා දිවුරලා කිව්වා මේ සාප වර්ගවලින් ලංකාවත්, ඒකෙ මිනිසුන්වත් බේරෙන්නෙ නෑ කියලා.කුවේණිගෙ සාප වර්ග නවය ගැන ලියැවිච්ච පොතක් තියෙනවා.
ඒ පොතේ නම තමයි යගු කෞරාණ මඩිය. ඒකෙ කුවේණිගෙ සාප වර්ග නවය මේ විදියට ලියලා තියෙනවා.

1- හෙළ දිවයින හතර පැත්තෙන් විනාශ වේවා .
2 – හෙළයේ නායකයන් විනාශ වේවා.
3 – පිටස්තර ආක්‍රමණිකයන්ට යටත් වේවා.
4 – හෙළයාගේ ලේ බැඳීම-අපේකම නැතිවේවා.
5 – හෙළ දිවයින දෙකඩ වී මුහුදට බිලිවේවා.
6 – බුද්ධිය හීන වූ ජාතියක් බිහිවේවා.
7 – අව්, වැසි, සුළං, මුහුදු, ජල විපත් ඇතිවේවා.
8 – ලෙඩදුක් සැම කල වහ වහා පැතිරේවා.
9 – ඉබාගාතේ යන වල්මත් ජාතියක් බිහිවේවා.

Copyright © All rights reserved. | Newsphere by AF themes.