November 30, 2020

Kotuwa Paththare

Kotuwapaththare offical

කුසගිනි නිවිමේ ආනිසංස මෙන්න

සත්ත්වයාගේ ජීවිතය ඉපදීමෙන් පසු ඉදිරියට කලක් පවත්නේ ආහාරයේ බලයෙනි. ආහාර නො ලද හොත් දිවිය නො පවතී. එබැවින් ජීවිතය ඉදිරියට පැවතීමට උපකාර වන ආහාර දීම ජීවිතය හෙවත් ආයුෂය දීමක් වේ. ආහාර පිදීම ආයුෂ පිදීමක් වේ.

කොතරම් රූප ශෝභාව ඇතියෙකුට වුව ද ආහාර හිඟ වුව හොත් එය නැති වී විරූප වේ. රූපශෝභාව ඇතිවීමට පැවතීමට හොඳ ආහාර උවමනාය. එබැවින් රූපශෝභාව ඇතිවීමට පැවතීමට හේතු වන ආහාර දීම, පිදීම ශරීර වර්ණය දීම, පිදීමක් වේ.

ආහාර නො ලැබ ගිය හොත් අනිකක් කිරීමට තබා තමාගේ ශරීරය එහා මෙහා ගෙන යාමට පමණවත් ශක්තියක් ඉතිරි නොවේ. ශක්තිය ලැබෙන්නේ ආහාරයෙනි. එබැවින් ආහාර දානය ශක්තිය දීමක් වේ.

නිරාහාරව ක්ලාන්තව සිටින්නෙකුට අන් කුමක් ඇත ද සැපයක් නැත. සාගින්න නිවා ගැනීමට පමණක් නොව අන් ක්රමවලින් සැප ලැබිය හැකි වීමටත් ආහාර ලැබිය යුතුය. එබැවින් ආහාරය දීම සැපය දීමකි. ආහාරය පිදීම සැපය පිදීමකි.

ආහාර හිඟව ලේ මස් වියළී ඉන්ද්රිය දුබල වුව හොත් ප්රඥාව නැති වේ. ප්රඥාව ඇති වීමටත් ආහාර ලැබිය යුතුය. එබැවින් ආහාර දානය ආහාර පූජාව ප්රඥා දානයක් ප්රඥා පූජාවක් වේ.

ආයුෂය – ශරීරවර්ණය – සැපය – ශරීර ශක්තිය – ප්රඥාව යන කරුණු පස සත්ත්වයනට ඉතා උසස් කරුණු පසෙකි. එබැවින් ඒවා ලැබීමට හේතුවන ආහාර දානය ආහාර පූජාව උසස් දානයක් උසස් පූජාවක් වේ. එය උසස් පිනක් වේ.

ආහාර පිදීමේ ආනිසංස

මෝඝරාජ හිමි පෙර අත්ථදස්සී බුදුරජුන්ට තැම්පත් සිතින් නුවණ යොදා දඬුවැල් බෑයක් පුජා කළ පිනින් දාහතර වාරයක් සක් දෙවිඳු වුණා. පන්සිය වාරයක් සක්විති රජ වුණා. අටවිසි වතාවක් පෘථිවි රාජ්‍ය ලැබුවේය. අවසානයේ මේ පින නිවනට ද උපනිශ්‍රය වුණේ ය.
(අපදාන පාලි 35 වන අපදානය)

අධිමුත්ත හිමි අත්ථදස්සී බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයට උක්ගස් දානයක් දුන් පිනින් කල්ප එක්දාස් අට සීයක් දුගතිගාමී නොවූ බව අපදාන පාලියේ සඳහන් වේ.
(අපදාන පාලි 36 වන අපදානය)

කටච්ජුභික්ඛා දායිකා තෙරණිය පෙර එක් ජීවිතයක තිස්ස බුදු රජුන්ට එක් දන් හැන්දක් පිදූ පිනින් තිස් හය වාරයක් සක් දෙවිඳුගේ මෙහෙසිය වූවා ය. පනස් වතාවක් සක්විති රජුට අග මෙහෙසිය වුවා ය.
(07 වන ථේරී අපදානය)

උප්පල දායිකා තෙරණිය පියුමතුරා බුදුසමයෙහි එක් භික්ෂුවකට පිණ්ඩපාත දානයක් හා වස්ත්‍රයක් පුදා දහස් වතාවක් සක් දෙවිඳුගේ මෙහෙසිය වූ අතර දහස් වතාවක් සක්විති මෙහෙසිය වූවා ය. එසේම භික්ෂා දානය හේතුවෙන් එතුමියට සසර දී මෙම විපාකයන් ලැබී ඇත්තා හ.
(අපදාන පාලි උප්පලදායිකා අපදානය)

  • “ආයුදො බලදො ධීරො වණ්ණදො පටිභාණදො,
  • සුඛස්ස දාතා මොධාවි සුඛං සො අධිගච්ඡති,
  • ආයුං දත්වා බලං වණ්ණං සුඛං ච පටිභාණකං,
  • දීඝායු යසවා හොති යත්ථ යත්ථුපපජ්ජති.(අංගුත්තර පංචක නිපාත)


“ආයුෂය දෙන්නා වූ ශරීර බලය දෙන්නා වූ ශරීර පැහැය දෙන්නා වූ නුවණ දෙන්නා වූ සැප දෙන්නා වූ නුවණැති හෙතෙමේ සැපය ලබන්නේ ය.

ආයුෂය ශරීර ශක්තිය රූප ශෝභාව සැපය ප්රඥාව යන මේවා දී යම් යම් තැනක උපදී නම් ඒ ඒ තැන දීර්ඝායු ඇත්තේ ද පිරිවර ඇත්තේ ද වේ” ය යනු ගාථාවල තේරුමය.

ඔබත් ආනිසංස දැනගෙන දානමය පිංකම් සිදුකරන්න ..

Copyright © All rights reserved. | Newsphere by AF themes.