“ගොසිප් නිසා අපහසුතාවයකට වඩා හිත් රිදීම් ඇති වුණා. දැන් නම් ඔය මොන දේකටවත් මං සැලෙන්නේ නැහැ” – දිනක්ෂි ප්‍රියසාද්

දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ හැමෝම ආදරේ කරන කවුරුත් දන්නා ජනප්‍රිය නිලියක්. නිරන්තරයෙන්ම පුංචි තිරයෙන් දකින්න ලැබෙන දිනක්ෂි පුංචි තිරයේ පෙම්වතියගේ චරිතය සොරා ගත් නිලියක් කිව්වොත් හරි. අලුත් තොරතුරු ගැන දිනක්ෂි කතා කරන්නේ මෙහෙමයි.

දිනක්ෂි චිත්‍රපටවලට සම්බන්ධ වුණා මදි කියලා හිතෙන්නේ නැද්ද?
චිත්‍රපටවලට කතා කළොත් යනවා. මමත් ආසයි හොඳ නිර්මාණවලට එකතු වෙන්න. රඟපාපු චිත්‍රපට තුනක් විතර එන්න තියෙනවා. අනුරුද්ධ ජයසිංහගේ මා, දුලීකා මාරපන අක්කිිගේ සුපර්ණා සහ රන්දික කියලා අලුත් අධ්‍යක්ෂවරයකුගේ චිත්‍රපටයකුත් කළා. ඒවා තිරගත වේවි.

වඩා කැමැති ටෙලි නාට්‍යවලට වගේ?
මං මගේ රංගන ගමන පටන් ගත්තේ ටෙලි නාට්‍යවලින්. ඒ නිසා ටෙලි නාට්‍යවලට පොඩි ගෞරවයක් තියෙනවා මිසක ටෙලි නාට්‍ය රංගනයේ පමණක් යෙදෙනවා කියලා බෙදා වෙන් කරගෙන නැහැ. රංගන ශිල්පිනියකට එහෙම ඉන්නත් බැහැනෙ. මං අර කලින් කිව්වා වගේ හොඳ චිත්‍රපටයකට කතා කළොත් යනවා දෙවතාවක් හිතන්නේ නැහැ.

ඔබ ඔබගේ පියාගේ චිත්‍රපටයකට සහාය අධ්‍යක්ෂණයෙන් එකතු වුණා. ආයෙත් ඒ වෘත්තියට යොමු වුණේ නැතිද?
නැහැ. වෙලාවක් නැතිකම තමයි ප්‍රශ්නෙ. තාත්තගේ වැඩ කිහිපයකටම කතා කළා. යන්න විදිහක් තිබුණේ නැහැ.

කාලයක් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ ගනුදෙනු කළ අයකු හැටියට මේ වන විට ක්ෂේත්‍රයේ පවතින ලොකුම දුර්වලතාවය මොකක්ද ඔබට දැනෙන පරිදි?
යම් යම් දුර්වලතා තියෙනවා. ඒවා කියන්න තරම් දේවල් නෙවෙයි. මං හිතනවා කලින් අවුරුදුවලට වැඩිය මේ වන විට අපේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය නියම ට්‍රැක් එකට වැටෙමින් පවතිනවා කියලා. මේ සිස්ටම් එකේ තමයි අවුල. මට පෞද්ගලිකව ගැටලු තිබුණා මං රඟපාපු ඇතැම් චරිත ගැන. ඒවට මං පණපොවලා ලැබුණ තෘප්තිමත්භාවය මදි.

ඒ කියන්නේ තෘප්තිමත්භාවය නොසලකමින් ලැබෙන ඕනෑම චරිතයක් ඩිනක්ෂි බාර ගන්නවා කියලද?
නැහැ. ඕනෑම නිර්මාණයක් ආරම්භ වන්නේ ඉතාම උසස් අන්දමින්. පස්සෙ පස්සෙ තමයි එන ගැටලු ඔක්කොම එන්නේ. නිර්මාණයක් රූපගත කරමින් සිටිද්දී බාහිරින් එන බලපෑම් නිසා නිර්මාණයට බලපැම් ආව අවස්ථා තිබුණා. එතකොට ඒ තත්ත්වය නළු නිළියන් වන අපිටත් බලපානවා. අතෘප්තිමත්ව නිර්මාණයක් කෙරෙද්දී අපිටත් අතෘප්තිමත්ව රඟපාන්න වෙනවා.

විවාහය පමා කරනවා වැඩියි කියලා හිතෙනවා. ඔබ සිටින්නේ විවාහ වන වයසේ?
පමා වැඩි නැහැ. තව කල් තියෙනවා. නියමිත වෙලාවට ඒ දේවල් සිද්ධ වේවි.

සාරංග දිසාසේකරගෙන් විවාහ යොජනාවක් ආවොත් බාර ගන්නවාද?
මේ වෙලාවේ ඒ ගැන හිතලා බලන්නේ නැහැ.

පිළිතුරේ හැටියට ඉදිරියේදී ඒ ගැන හිතලා බලාවි වගේ?
ඉදිරියේදී වෙන දේවල් ගැන දැන්මම හිතන කෙනෙක් නෙවෙයි මම. කතෝලික ආගමේ කෙනෙකු හැටියට මං දෙවියන් වහන්සේ ගොඩක් විශ්වාස කරනවා. දේව නියමයට අනුව ඉදිරියේදී මගේ ජීවිතයට ලැබෙන්න ඕන දේවල් ලැබේවි. සිද්ධ වෙන්න ඕන දේවල් සිද්ධ වේවි.

ඔබේ නැගණි ශේෂාද්‍රි රංගනයෙන් ඈත්වීම ගැන මොනවද කියන්න තියෙන්නේ?
මං ඇයගේ ජීවිතයට බලපෑම් කරන්නේ නැහැ. නමුත් මං කියන්නේ ශේෂද්‍රි රංගනයෙන් ඈත් වෙලා ඉන්න එක හරිම වැරැදි වැඩක්. එයාට අපිට වඩා හැකියාවක් තියෙනවා. හොඳ රූපයකුත් තියෙනවා. එහෙම කෙනෙක් රඟනොපෑම ක්ෂේත්‍රයට කරන පාඩුවක්.

ෆේස්බුක් නිසා දීනක්ෂි අපහසුතාවයට පත් වෙලා තියෙනවාද?
මුලදි එහෙම වුණා. අපහසුතාවයකට වඩා හිත් රිදීම් ඇති වුණා. විවිධ ගොසිප් නිසයි එහෙම වුණේ. දැන් නම් ඔය මොන දේකටවත් මං සැලෙන්නේ නැහැ. ඒවා ගොසිප්ම විතරයි කියලා ඒ කනෙන් අහලා මේ කනෙන් පිට කරනවා.

ප්‍රසාද් සමරතුංග

Author: admin