December 1, 2020

Kotuwa Paththare

Kotuwapaththare offical

දළදා මාලිගාවේ කෞතුකාගාරය ගැන නොවැසූ දේ

1 min read

අද කියන්න යන්නේ දළදා වහන්සේ ලංකාවට වැඩමවු දා සිට වැදගත් තොරතුරු ඇතුළත් ලිපි ලේඛන හා තවත් වටිනා ලේඛන ආදිය දැනගත හැකි තැනක් ගැනයි. ඒ තමයි දළදා මාලිගාවේ කෞතුකාගාරය. ටී.බි.නුගවෙල හිටපු දියවඩන නිලමේ තුමා විසින් පිහිටවනු ලැබූ අලුත් මාලිගාව නම් ගොඩනැගිල්ලේ පළමු සහ දෙවැනි මහල් වල තමයි මෙම දළදා මාලිගා කෞතුකාගාරය පිහිටා තියෙන්නේ.

පළමුවෙනි විමලධර්මසූරිය රජතුමානේ මහනුවරට දළදා වහන්සේ වඩමම්ලා මාලිගාවක් හදලා එහි දළදා වහන්සේ තැන්පත් කළේ. ඒ මාලිගාවට පසුකාලින රජවරුන් විසින් විවිධ වෙනස්කම් කරලා විවිධ අංග එකතු කළා.

මේ විමලධර්මසූරිය රජතුමා හැදු දළදා මාලිගාවේ බිම් සැලැස්ම අපිට බලාගන්න පුළුවන් ⁣වෙන්නේ මාලිගාවේ මේ කෞතුකාගාරයෙන්. පළමුවෙනි විමලධර්මසූරිය රජතුමා හැදු දළදා මාලිගාවේ බිම් සැලැස්ම, දෙවැනි විමලධර්මසූරිය රජතුමා හැදු දළදා මාලිගාවේ බිම් සැලැස්ම, නරේන්ද්‍රසිංහ රජතුමා තැනු මාලිගාවේ බිම් සැලැස්ම මේ කෞතුකාගාරයේ තිබෙනවා. ඒ වගේම කිර්ති ශ්‍රි රාජසිංහ රජතුමාගේ කාලයේදි දළදා මාලිගාව තිබුණේ කොහොමද කියලා බලාගන්න එහි සිතියමක් ද මේ කෞතුකාගාරයේ තිබෙනවා.

ඒ වගේම 1815 දි උඩරට නිලමේවරුන් හා ඉංග්‍රීසින් විසින් ඇතිකරගත් උඩරට ගිවිසුමේ පිටපතකුත් මෙහි තිබෙනවා. ශ්‍රී දළදා මාළිගාව මහනුවර පිහිටවු තැන් සිට මේ දක්වා කාලය තුල විවිධ රජවරු සංචාරකයන්, බැතිමතුන්, රාජකීය අමුත්තන්, විවිධ රාජ්‍ය නායකයින්, සහ සාමාන්‍ය පොදු මහජනයාද ශ්‍රී දළදාව වෙත විවිධාකාරයේ ත්‍යාග, පුද පඬුරු, පූජා කොට තිබෙනවා. ඒවා සියල්ල ඒ වෙනුවෙන් තනවන ලද විශේෂ ගබඩා කාමර වල, කලින් කලට පත් වූ දියවඩන නිලමේතුමන්ලා විසින් ආරක්ෂා සහිතව තැන්පත් කර තිබෙනවා.

ප්‍රදර්ශන භාණ්ඩ අතර දළදා වහන්සේ ලක්දිවට වැඩම කළ තැන් සිට බ්‍රිතාන්‍ය පාලන කාලය දක්වා ඓතිහාසික වාර්තා, 1765 වර්ෂයේ මාලිගා සංකීර්ණයේ ලන්දේසි සැලැස්මක්, ශ්‍රී දළදා වෙහි ආරක්ෂාව සම්බන්ධයෙන් වගබලා ගන්නා මල්වතු – අස්ගිරි පාර්ශවවල මහනායක හිමි වරුන්ගේ නාම ලේඛණ මෙහි තිබෙනවා. ඒ වගේම මහනුවර රාජධානියේ රජවරුන්ගේ නාම ලේඛණ, සහ දියවඩන නිලමෙවරුන්ගේ උඩුකය පිළිරු මෙහි දකින්න තිබෙනවා.

අපේ රජවරු පාවිච්චිකරපු ඇඳුම් රැසක් මෙහි තිබෙනවා. කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ වස්ත්‍රාභරණ ද ඒ අතර ‍ඇත. දළදා පූජා චාරිත්‍ර වලදි අපේ රජවරු විසින් පාවිච්චියට ගනු ලැබු උපකරණ රැසක් මෙහි තිබෙනවා. ඒ වගේම තමයි ඔබට මතක ඇති 1998 ජනවාරි මස ත්‍රස්තවාදීන් දළදා මාලිගා පරිශ්‍රයට බොම්බ ප්‍රහාරයක් එල්ලකළා. ඒ බෝම්බ පිපිරිමෙන් බිත්තිවල බදාම ගැලවිලා ගියා. ඒ බදාම ගැලවුනාට පස්සේ විවිධ සිතුවම් මතුවුණා.

මේ ප්‍රහාරයෙන් හඳුන්කුඩමේ (t.ly/QqAk) බදාමයටත් හානි සිදුවුනානේ. ඒ බිත්තියෙන් මතුවුණා ඇත්රුවක්. තව මිනිස් රූප කිපයකුත් මතුවුණා. නරේන්ද්‍රසිංහ රජතුමා මාලිගාවේ ජාතක කතා තිස්දෙකක් ඇන්දෙව්වා කියලා මහවංශයෙත් සදහන් වෙනවා. සමහරවිට ඒ මතුවුණේ ඒ ජාතක කතා විය හැකි බව පුරාවිද්ඥ්‍ය මතය යි.

ඉතින් මේ සියලු විස්තර හා ප්‍රදර්ශනය වන ඡායාරූප අතර සියවස් ගණනාවක් මුළුල්ලේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කර තිබු විවධ වැදගත් ස්ථාන වල ඡායාරූප වගේම බෝම්බ පිපිරීමෙන් දළදා මාලිගාවට වූ බරපතල හානි විදහා දැක්වෙන විශාල ඡායාරූප එකතුවක් ද කෞතුකාගාරයට එත්තර තිබෙනවා.

දෙවැනි මහලේ ප්‍රදර්ශනය සඳහා තබා ඇති භාණ්ඩ අතර ශ්‍රි දළදාව සම්බන්ධ දිනපතා තේවාවන්හිදි ප්‍රයෝජනයට ගත් ඓතිහාසික භාණ්ඩ, හෙප්පු, බුද්ධ ප්‍රතිමා සහ ඉතා වටිනා මැණික් එබ්බවූ සාම්ප්‍රදායික උඩරට රන් රිදි ආභරණ යනාදි බැතිමතුන් විසින් පූජා කරන ලද භාණ්ඩ දක්නට ලැබෙනවා.

ඒවා අතර කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් පූජා කරන ලද රිදි වතුර භාජනයක් (කලයක්) රාජාධිරාජසිංහ මහ රජතුමා පූජා කළ එල්ලෙන රිදි පහනක්, තායිලන්තයේ බොරොම් කොත් රජු විසින් එවන ලද බුදුන්ගේ ශ්‍රී පතුලෙහි ආදර්ශයක් ගත් සිතුවමක් කෞතුකාගාරයේ තැන්පත් කර තියෙනවා. මේ කටුගෙයි වටිනාම වස්තුවක් තිබෙනවා. ඒ තමයි ධර්මාශෝක රජතුමාග් අනුග්‍රහයෙන් පැවති තුන්වෙනි ධර්ම සංගායනාව පවත්වන්න මුල්වු මොග්ගලිපුත්ත තිස්ස මහ රහතන් වහන්සේගේ ශාරිරික ධාතුන් තැන්පත් කර ඇති කරඬුව.

මේ කරඬුව අපිට ලැබුණේ පස්වෙනි ජෝර්ජ් රජතුමාගේ යුගයේදි. මේ කරඬුව පන්ජාබයේ තක්ෂිලා නුවරින් හමුවු බවයි එහි සදහන්ව තියෙන්නේ. බ්‍රාහ්මිය අක්ෂරවලින් එය සදහන් කර තිබෙනවා.ඒ වගේම තව පුරාවස්තු රැසක් මෙහි තිබෙනවා. පො⁣ළොන්නරු යුගයේ රජකළ ලීලාවති රැජිණගේ කහවනුව, ආදි ඔිලන්ද, ඉංග්‍රීසි යුගවල කාසි මෙහි ප්‍රදර්ශනයට තබා තිබෙනවා. ඒ සියළු කාසි දළදා වහන්සේට පුජාකළ ඒවායි.

ඔබ දළදා මාලිගාවට ගොස් දළදාවහන්සේ වැඳපුදාගත් පසු මෙම ස්ථානය බැලීමට යාමෙන් අපේ උරුමය, සංස්කෘතික වටිනාකම පිළිබඳව හොඳ දැනුමක් ලබාගත හැකියි.

Copyright © All rights reserved. | Newsphere by AF themes.