December 1, 2020

Kotuwa Paththare

Kotuwapaththare offical

දැඩිමුණ්ඩ දේවාලයේ හාස්කම්

1 min read

අලුත්නුවර දැඩිමුණ්ඩ දෙවියන් උදෙසා පැවැත්වෙන දේව ආරාධනය මම අසා සිටියෙමි. දස දෙසින් පැමිණි භක්තිවන්තයන් තමන් පැමිණි කරුණු කාරණා ඉෂ්ට සිද්ධ වනු උදෙසා විවිධාකාර වූ පූජාභාණ්ඩද සහිතව දොහොත් මුදුන් තබාගෙන සිටිති.

“අප භාග්‍යවත් සම්‍යක් සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ උතුම් වූ බුද්ධාදී රත්නත්‍රය ප්‍රධාන කොට ඇත්තා වූ දෙවියන් වහන්සේලාගේ දේව නාමවල් මුදුන්පත් කරවාගෙන තවද තුන්සිය හැටක් සමයංවලට නායකව යක්ෂසේනාව පිරිවරා ලක්දිවට ගොඩබැස සතර කෝරළය බඩ මනෝරම්‍ය දිව්‍ය විමානයක් කරවා අලුත්නුවර යැයි සිරිලකට අණසක පතුරුවා චිරාත්කාලයක් වැඩ වසන වාහල බණ්ඩාර දැඩිමුණ්ඩ දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ.

මේවැනි මේ බලියාග ශාන්තියට දේවාශීර්වාද කොට එවැනි ඒ තේජානුභාව බලයෙන් ආතුරයන්හට පැමිනි ලෙඩ දෝෂ දුරු වී සුබ ශාන්තියක් වේවා”දේව මන්දිරය ඇතුළාන්තයෙන් නැගෙන දෝංකාරය දෙමින් හඬ නැගෙන හඬින් තම තමන් සිත් උඩරටට උරුම මුල් ඇඳුමෙන් සැරසී දකුණත නිල්වන් වේවැලක් දරා සිටින දැඩිමුණ්ඩ දේවතා හාමුදුරුවන් වහන්සේ වෙත සියල්ලෝම ආකර්ෂණයව බලා සිටිති.

වත්පිළිවෙත සිදුකිරීම් අන්තයෙහි දැඩිමුණ්ඩ දේවාලයෙහි තේවාව භාරකාර දම්සිරි කරුණාරත්න බණ්ඩාර මහතා හමුවී මෙම සිද්ධස්තානයේ අතීත තොරතුරු මෙන්ම පැමිණෙන සුවහස් ජනතාව මෙකී ස්ථානය පිළිබඳව පවත්නා විශ්වාසයන් ගැන තොරතුරු විමසුවෙමි.අද වන විට ලංකාවෙ අලුත්නුවර කියල හඳුන්වන ස්ථාන තුනක් තියෙනව.

බලංගොඩ උග්ගල් අලුත් නුවර, මහියංගනේ අලුත් නුවර, මාවනැල්ලෙ හතර කෝරළේ අලුත් නුවර දැඩිමුණ්ඩ දේවාලය මෙම ප්‍රසිද්ධ ස්ථාන තුනයි. අපේ අලුත් නුවර දේවාලයේ ඉතිහාසය දඹදෙණි රාජ්‍ය කාලය තරම් ඈත කාලයකට අයිති බව අලුත් නුවර දේවාලය කරවීම කියන පුරාණ පුස්කොළ ලියැවිල්ලෙ සඳහන් වෙලා තියෙනව.

වර්ෂ 1236-1270 කාලයේ දඹදෙණියෙ රජකළ දෙවැනි පරාක්‍රමබාහු රජතුමාගෙ විසි දෙවැනි රාජ්‍ය වර්ෂයේදි එතුමන්ට වැළඳුණු රෝගාබාධයක් නිසා එයින් මිදීමට කළ හැකි කිසිවක් නොවුණු තැන අවසන් උත්සාහය හැටියට අලුත්නුවර දේවාලයට භාරයක් වූ බවත් මෙහි එකල වැඩිසිටි උපුල්වන් හෙවත් විෂ්ණු දෙවිඳුන්ට පුද පඬුරු හැටියට රන් ආයුධ දේව රූපය සිතුවම් කළ පෙතිකඩක් රැගෙන අවුත් තුන් අවුරුද්දක් මෙතැන පුද පූජා කළ බවත් සඳහන් වෙනවා.

සාමාන්‍ය ජනමතවාද අනුව සැලකෙන්නේ උපුල්වන් දෙවිඳුන්ගේ ප්‍රධාන අමාත්‍යවරයා දැඩිමුණ්ඩ දෙවිහාමුදුරුවන් බවයි. මෙම ස්ථානයේ තුන් මහල් දේවාලයක් ගොඩ නගා තිබුණත් මෙතැනට එන පිරිසට පහසු ගමන් මාර්ගයක් නොතිබුණේ දේවාලය වට කොටගෙන තිබූ මහා ගල් පර්වතයක් තිබූ නිසාය. අස්සද්දන පිරිවෙන්පති හිමියන් නිලමේවරුන් ඇතුළු පිරිසක් මෙතැනට පැමිණ අසල තිබූ දෙහි ගසක පඬුරක් ගැටගසා දැඩිමුණ්ඩ දෙවියන්ට භාරයක් වීමෙන් පසු එක් රැයකින් එම ගල් පර්වතය සුනු විසුනු වී මග දෙපස සකස් වූ බව ගල බිඳින ලද සැහැල්ලේ විස්තර සහිතව දැක්වෙයි.

උඩ වීදිය ඔස්සේ අදත් මෙම දේවාලයට එන බැතිමතුන්ට දැක ගත හැකි ඉරහඳ කොටා ඇති මට සිලිටු ගල් වැටිය දැනටත් දක්නා ලැබෙන එක් සාක්ෂියකි.දැඩිමුණ්ඩ දෙවියන් ගැන අතීතයේ සිටම මෙරට ජනතාව දැඩි භක්තියකින් පසු වූ බව විවිධ ජනශ්‍රැතීන්ගෙන් මෙන්ම ජන කාව්‍යයන්ගෙන්ද හෙළි වෙයි.

බුදුන් වහන්සේට එරෙහිව මාරයා යුද්ධයට පැමිණි අවස්ථාවේ අනෙක් දෙව්වරුන් ඉවත්ව ගිය බවත් දැඩි මුණ්ඩ දෙවියන් පමණක් රැකවරණයට සිටි බව දැඩිමුණ්ඩ ස්තෝත්‍ර, දැඩිමුණ්ඩ කවි, දැඩිමුණ්ඩ අවතාරය, හත් අඩි උපත, දැඩි මුණ්ඩ උපත,දැඩි මුණ්ඩ පුලය,දැඩිමුණ්ඩ වරම, දැඩිමුණ්ඩ විස්තර, දැඩිමුණ්ඩ අවතාර ඇතුළු දැනට කොළඹ ජාතික කෞතුකාගාරයේ ඇති ජනකාව්‍යයන්ගෙන් හෙළිවෙයි.

පූර්ණක යක් සෙනෙවියාට දාව එරන්දතී නම් නාග කන්‍යා වියකගේ කුසෙන් උපන් අයෙකු ලෙස දැඩි මුණ්ඩ දෙවියන් පිළිබඳ ජන විශ්වාසයක් පවතී. එමෙන්ම විවිධාකාර අපහසුතාවයන්ට පත් වූ වන්ට පිළිසරන වන දෙවියකු ලෙසද මුළු මහත් ජනතාව තුළම ප්‍රසාදය දිනා ගත්තෙකි.

මෙම දේවාලයේ වත්මන් නවෝදය පිළිබඳව තේවාව බාර දම්සිරි කරුනාරත්න මහතා පවසන්නේ මෙබඳු අදහසකි.අද තියෙන දේවාලය හදවලා තියෙන්නෙ එක්දහස් අටසිය ගණන්වලදි. මොල්ලිගොඩ අදිකාරම් තුමා ඉංග්‍රීසි ආණ්ඩුවෙන් රටෙන් පිටුවහල් කරන්න නියම උනාම මෙතැනට ඇවිත් බාරයක් වෙලා තියෙනවා. මොල්ලිගොඩ වලව්ව තියෙන්නෙත් මෙතැනට කිලෝමීටර් තුනක් විතර එහාට වෙන්න. රුවල් නැවෙන් අදිකාරම්තුමා පිටුවහල් කළත් දවස් හතක්ම රුවල් නැව මුහුදෙ පාවි පාවී තිබිල ගොඩ බිමට ඇවිත් තියෙනවා. එහෙම උනේ දැඩිමුණ්ඩ දේව බලය නිසාම බව දැනගත්ත මොල්ලිගොඩ අදිකාරම්තුමා මේ දේව මන්දිරය හදවල තියෙනවා.

“දේවාලයක අංග කිහිපයක් තියෙනව. ප්‍රධාන පිවිසුම, වාහල්කඩ, ප්‍රධාන බරාඳ, හඳුන් කූඩම, දිග්ගෙය, වැඩ සිටින මාලිගය, මුළුතැන් ගෙය, ගබඩා කාමර, අටු මඩුව, දඬු මඩුව ආදී කොටස්වලින් යුක්ත දේවාලය.මේ දේවාලය ඇස් පනාපිටම කරදරයක් උන කෙනෙකුට පිහිට වෙන තැනක්. රටේ හැම කෙනෙකුගෙම විශ්වාසයක් තියෙනව. මෑත කාලයෙ මෙතැනදි සිද්ද වෙච්ච හාස්කමක් ගැන අනුරුද්ධ රත්වත්තෙ හිටපු ආරක්ෂක ඇමතිතුමා මට මෙහෙම කතාවක් කිව්වා.

කොටි සංවිධානය ඒ කාලෙ බොහොම බලවත් වෙලා තිබුණෙ. උතුරට නිතර නිතර යන එන කොට ඉස්සර වෙලාම අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලයට ඇවිත් බාරයක් වෙලා යන එක මගේ සිරිතක්. එක දවසක් අපි ගිය හෙලිකොප්ටරේ හදිසි කාර්මික දෝෂයක් හින්ද මහ කැලෑවට පාත් කරන්න සිද්ධ උනා. වට පිට මහ කැලෑව. අපේ හමුදා කට්ටිය නතර වෙලා හිටිය තැනක් හොයා ගන්න බැරුව ගියා. මහ කැළෑවෙ කොච්චර දුරක් යන්න වේවිද කියල අපි කවුරුවත් දන්නෙ නෑ. අනික් එක මගේ කකුලෙ අමාරුව.

වෙච්ච කරදරේ කියන්න මට හිටියෙ දැඩි මුණ්ඩ දෙවිහාමුදුරුවො විතරයි. මම අපි එක්ක හිටිය නිලධාරියෙකුට කිව්ව දැඩිමුණ්ඩ දෙවි හාමුදුරුවන්ට පඬුරක් ගැට ගහන්න කියල පඬුරක් හොයා ගත්තට ගැට ගහන්න රෙදි පටියක් නෑ. එක හමුදා නිලධාරිවරයෙක් තමුන් ඇඳල හිටිය කමිසයක් ඉරල ඒකෙන් පඬුර දවටල කිට්ටුව තිබුණ ගහක අත්තක ගැට ගැහුව. අපි ඔක්කොම දැඩිමුණ්ඩ දෙවියන්ගෙන් බැගෑපත් ඉල්ලීමක් කළා අපිට පිහිට වෙන්න කියල. අඩුම ගණනෙ අපිට කොයිබටකවත් පණිවුඩයක්වත් දෙන්න පුළුවන් කමක් තිබුණෙ නෑ. හෙලිකොප්ටරේ විනාශ කළේ ඒක කොටි හමුදාවට ලැබේවි කියල හිතාගෙන මට ඇවිදගෙන යන්න බැරි හින්ද හමුදාවෙ කට්ටිය මාව උස්සගෙන ගියා.

අපිට අපේ හමුදා කඳවුරට යන්න කැළෑව මැද්දෙන් කෙටි පාරක් පෙන්නුම් කළා. එතැන හිටිය කට්ටියක් පුදුම උනා අපි ආපු ගමනට. මම එතැන ඉඳල කෙළින්ම ගෙදරට ඇවිත් නාල කියල පේවිලා ඇවිත් දැඩිමුණ්ඩ දේවතා හාමුදුරුවන්ට එදා මැරෙන්න යද්දී මම වෙච්ච බාරය ඔප්පු කළා. මම ආරක්ෂක ඇමති වගේම විදුලි බල ඇමති. දේවාලය තිබෙන තුරාවට දේවාල භූමියට කිසිම ගාස්තුවකින් තොරව විදුලි බලය ලබා දෙන්න පටන් ගත්තෙ එදා ඉඳල.

එදා මහනුවර විෂ්ණු දේවාලයටත් ඒකට අනුබද්ධ දැඩිමුණ්ඩ දේවාලයෙන් බස්නායක නිලමේවරය උනේ අනුරුද්ධ රත්වත්තෙ ඇමතිතුමාගෙ සහෝදර ඩෙනිස් සාලිය රත්වත්තෙ මැතිතුමා. අද ඒ තනතුර දරන්නේ අනුරුද්ධ රත්වත්තෙ ඇමතිතුමාගෙ පුත්‍රයෙක් වන මහනුවර හිටපු පුරපති මහේන්ද්‍ර රත්වත්තෙ මැතිතුමා.

Copyright © All rights reserved. | Newsphere by AF themes.