November 30, 2020

Kotuwa Paththare

Kotuwapaththare offical

පස් නැතුව එළවළු වගා කරන විදිය

මාර්කට් එකට ගිහිල්ලා එළවළු ගන්ඩ ගියාම හීන් දාඩිය දානවා…ගාන ඇහුවම ගත්ත එළවළු ටිකත් දාලා එන්න හිතෙනවා.ගමේ හිටිය නම් එළවළු ටික වත්ත පිටියෙම වවා ගන්න තිබුණා.
මේ කොන්ක්‍රීට් වනන්තරේ ඉන්න අපිට කොයින්ද එච්චර වාසනාවක්….”

නාගරික ජීවිතයට හැඩ ගැසුණු බොහෝ දෙනෙක්ගේ මුවට මෙවැනි වදන් වැලක් ගලා ඒම පොදුවේ දක්නට ලැඛෙන කාරණයකි. නමුත් තව දුරටත් ඔවුනට කම්පා වීමට අවශ්‍ය නැත. ගෙවත්තකින් තොරව, පසේ ආධාරයක් නොමැතිව බෝග වගා කිරීමේ හැකියාව දැන් තියෙනවා. මෙම අපූරු තාක්ෂණය හඳුන්වන්නෙ ජල රෝපිත වගාව ලෙසයි.

මෙම තාක්ෂණයේදී සරලවම ගතහොත් සිදු කරනුයේ ශාකය වැඩෙන මාධ්‍ය ලෙසට පස වෙනුවට ජලීය හෝ වෙනත් මාධ්‍යයක් යොදා ගැනීමයි. ජල රෝපිත වගාවේ ඉතිහාසය පිරික්සන විට ඊට සංයත මූලාදර්ශ ලෙස බැබිලෝනියාවේ එල්ලෙන මල් උයන, ඇස්ටෙක් හි පාවෙන ගොවිපොළ ආදි නිදසුන් ගෙනහැර දැක්විය හැකිය.

මෙම තාක්ෂණයේදී භාවිතා කෙරෙන මාධ්‍යය ප්‍රධාන කොටස් 3කට වෙන් කළ හැකියි. ඒවා නම්

  1. පෝෂණ ද්‍රාවණ තුළ වගාව
  2. ඝන මාධ්‍යක වගාව
  3. වායව රෝපිත වගාව

මේ අතුරින් වඩා ජනප්‍රියම ක්‍රමය බවට පත්ව ඇත්තේ පෝෂණ ද්‍රාවණ තුළ වගාවයි.එහිදී සකසන ලද පෝෂණ ද්‍රාවණයක් මගින් බෝග සඳහා අවශ්‍ය පෝෂක ලබා දෙයි. මෙහිදී බඳුනක් (සෘජුෆෝම් පෙට්ටියක්) තුළට පෝෂණ ද්‍රාවණය බහාලයි. ඉන්පසු එහි පියන් සිදුරු කපා ඒ තුළ දැල් සහිත කුඩා බඳුන් රඳවයි. එම බඳුන් තුළ කොහුබත් වැනි මාධ්‍යයක් ආධාරයන් ශාකය රඳවා තබයි. ඒ අයුරින් ශාකයේ මුල් ජලීය පෝෂක මාධ්‍යයේ ගිලී පවතින අයුරින් සැකසීම සිදු කෙරේ.

එවිට ශාකයේ මූල පද්ධතිය මගින් එම පෝෂක උරා ගැනීම සිදු කරයි. මෙම පෝෂක ද්‍රාවණය සැකසීම සිදු කරනුයේ විවිධ පෝෂක සංයෝගයන් සුදුසු ප්‍රමාණවලින් මිශ්‍ර කිරීම හරහායි. වගාකරුවන්ට මෙම පෝෂක මිශ්‍රණය සැකසීමට විකල්පයක් වශයෙන් වෙළෙඳපොළේ පවතින ඇල්බර්ට් මිශ්‍රණයද පෝෂක ද්‍රාවණය සැකසීමේදී භාවිතා කළ හැක. මෙම තාක්ෂණය හරහා තක්කාලි, මිරිස්, ගෝවා, සලාද, ඛෙල් පෙපර් හා පලා වර්ග වගාව ඉතා සාර්ථකව සිදු කළ හැක.

වර්තමානයේදී ශීඝ්‍ර නාගරීකරණය නිසාම කෘෂිකර්මාන්තය සඳහා පස අභියෝගයක් බවට පත්වෙමින් පවතී. විශේෂයෙන්ම නාගරික ප්‍රදේශවල වෙසෙන ජනයාට පස යනු අතිශය සීමාකාරී සාධකයක් බවට පත්වී ඇත. අද නාගරික තට්ටු නිවාසවල සිටින ඇතැමුන්ගේ දෙපාවලට සිමෙන්ති පොළොවේ ස්පර්ශයෙන් මිදීමට ඉඩක් නැති තරමටමය. මෙවැනි තත්ත්වයක් හමුවේ අපට අවශ්‍ය දේ අපිම වගා කරගත හැක්කේ කෙසේද යන ගැටලුව කෙලින්ම පැන නගී.

නමුත් මෙයට ඉතාම සාර්ථක විසඳුමක් ලෙස මෙම ජල රෝපිත වගාව හඳුන්වා දිය හැක. මෙම තාක්ෂණයේදී කිසිම ආකාරයකින් පස් භාවිතයක් සිදු නොකෙරෙන නිසා පසින් තොර වගාවක් යනු නාගරික ජනයාට තවදුරටත් සිහිනයක්ම පමණක් නොවේ.

එපමණක්ම නොවේ. අපේ පියවි ඇසට නොපෙනුනත් ශාකවලට හානි පමුණුවන බොහෝමයක් රෝග කාරක ක්ෂුද්‍ර ජීවීන්,, වට පණුවන් හා කෘමීන් ඒ කරා ගෙන එන ප්‍රධාන මාධ්‍යයක් විදිහට පස ක්‍රියා කරයි. පස ජීවානුහරණය, එනම් පස මෙම අහිතකර කාරකයින්ගෙන් තොර කිරීමේ ක්‍රියාවලිය ශ්‍රමය, කාලය හා මුදල් අධික ලෙස වැය වන කටයුත්තක් වේ. එහි සාර්ථක භාවයද අඩු මට්ටමක පවතී. ඊට සාපේක්ෂව ජල රෝපිත වගාතුළ වගා මාධ්‍ය වන පෝෂක ද්‍රාවණය රෝග කාරකයින්ගෙන් තොර කිරීම වඩා පහසු හා අඩු වියදම් කටයුත්තක් වේ. එහි සාර්ථක භාවයද ඉහළ මට්ටමක පවතී.

පස් භාවිතයෙන් සිදු කෙරෙන සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තයේදී ජලය හා පොහොර භාවිතය සිදු කරනුයේ ඉතාම පහළ කාර්යක්ෂමතාවයකිනි. එහිදී ශාකය දරා සිටින පසේ පෘෂ්ඨය සූර්යාලෝකයට නිරාවරණය වීම හරහා වාෂ්පීකරණය මගින් සැලකිය යුතු ජල හානියක් සිදු වෙයි. එසේ ම ශාකවලට අපි යොදන පොහොරවලින් කොටසක් ශාකය උරා ගැනීමෙන් පසුව ඉතිරි වන වැඩි කොටස ජලයත් සමග මිශ්‍ර වී පසෙන් ඉවත් වෙයි.

නොඑසේ නම් අපේ කාලයත්, ශ්‍රමයත්, වියදමත් ඒ සමගම අපතේ යයි. නමුත් ජල රෝපිත වගාවේදී මාධ්‍ය වන පෝෂණ ද්‍රාවණයේ පෘෂ්ඨයෙන් වැඩි ප්‍රමාණයක් පියන හරහා වැසී ඇති බැවින් වාෂ්පීකරණය හරහා සිදුවන ජල හානිය අවම වේ. එලෙසම ද්‍රාවණය පිටතට සංසරණය වීමක් සිදු නොවන නිසා ද්‍රාවණයේ අන්තර්ගත පෝෂක ද්‍රව්‍ය අපතේ යාමද අවම තත්ත්වයක පවතී.

එයට අමතරව නිවැරැදිව හා ඒකාකාරී ලෙස පොහොර යෙදීමට හැකිවීමත්, බෝගයේ වර්ධක අවධියට සරිලන පරිදි දේශගුණික තත්ත්වයට අනුව බෝගයේ පෝෂක අවශ්‍යතාවන් ලබා දීමේ හැකියාවත් යන කරුණුද මෙම තාක්ෂණයේ සාධනීය කරුණු වේ.

කෘෂිරසායනික භාවිතය අඩු වීමත්, පස් භාවිතා කිරීමක් සිදු නොකරන නිසා පිරිසිදු හා සෞඛ්‍යාරක්ෂිත අස්වැන්නක් ලබාගැනීමේ අවස්ථාව මේ හරහා හිමි වේ.

Copyright © All rights reserved. | Newsphere by AF themes.