December 1, 2020

Kotuwa Paththare

Kotuwapaththare offical

බෝගම්බර වැව් පතුලේ සැඟව ගිය හෙළ කුසුම

ලංකා ඉතිහාසයේ හෙළ නරපතියන්ගේ අවසන් බලකොටුව වූ සුන්දර සෙංකඩගල පුරවරය අතීතයේ දවසක ශෝකයෙන්, සංත්‍රාසයෙන් සහ විලාපයෙන් ඇළලී ගියා. එදින නිර්දෝෂී සිංහල කුල කතකට තම ඇස් ඉදිරිපිටදීම ඇගේ දරුවන් කෘෘර ලෙස මරා දැමීම දකින්නට සිදුවූ අතර ඉන්පසුව ඇයවත් බෝගම්බර වැවේ ගිල්වා මරා දැමුණා.

අහස පොළොව නුහුලන ඒ අපරාධය වළක්වන්නට සමත් ජගතෙක් එදා මේ සිංහලදීපයේ හිටියේ නැහැ.ඉන්දියාවේ සිට ලංකාවට පැමිණි රාජාධිරාජසිංහ රජුගේ දෙවැනි බිසවගේ සොයුරියගේ දරුවා වූ කන්නසාමි, කොබ්බෑකඩුවේ සිරිනිවාස නාහිමියන් සහ මල්වතු විහාරයේ වැඩ විසූ මොරතොට ධම්මක්‌ඛන්ද අනුනායක හිමියන් ඇසුරේ අධ්‍යාපනය ලැබුවා.

මේ යුගයේදී මහාදිකාරම් ධූරය හෙබවූ පිළිමතලව්වේ දිසාව, නායක්‌කාර් වංශිකයන්ගෙන් රට මුදා ගැනීමට කලක සිට සිහින මැව්වා. රජුගේ මරණින් පසු රජකම මුත්තුසාමි කුමරුට ලබා දීමට යෝජනා වුණත් කන්නසාමි කුමාරයා රජ කරවා තම අණසකට යටත් රූකඩයක් බවට පත්කර ගන්නට සිතූ පිළිමතලව්වේ තම උපදෙස්‌ පරිදි රට පාලනය කරනවා නම් රජකම ලබාදෙන බව කන්නසාමිට පැවසුවා. කන්නසාමි ඒ යෝජනාව මහත් ප්‍රීතියෙන් පිළිගත්තත් ඇත්තටම පිළිමතලාවේට අවශ්‍ය වුණේ ටික දිනකින් මේ වඩුග රජු මරා හෝ නෙරපා නැවතත් හෙළ රජ පරපුරක් ඇති කිරීමයි.

1798 පෙබරවාරියේ පුරාණ චාරිත්‍රානුකූලව කන්නසාමි කුමරු ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් රාජාභිෂේක කෙරුණා. තම අරමුණු සහ පෞද්ගලික වෛරයන් පිරිමසා ගන්නට පිළිමතලව්වේ යොවුන් වියේ සිටි රජු පාවිච්චි කළ අතර, වයසින් හා අත්දැකීමෙන් මුහුකුරා යත්ම රජුට ඔහුගේ කුමන්ත්‍රණ වැටහුණා.

ලෙව්කේ නිලමේ ඝාතනය කිරීම සහ වැවක් තැනීමේදී ගොවීන්ට සිදුවූ අසාධාරණයක් සම්බන්ධයෙන් පිළිමතලව්වේත් රජුත් අතර ගැටුම් ඇති වුණා. අවසානයේදී අසන්ජා නමැති මුස්ලිම් මුහන්දිරම්වරයෙකු සමඟ රජු මැරවීමට කුමන්ත්‍රණ කළ නිසා 1811දී පිළිමතලව්වේ මහාදිකාරම්ගේ හිස ගසා දමනු ලැබුවා. ඉන්පසුව ඔහුගේ බෑණා කෙනෙකු වූ ඇහැළේපොලව මහාදිකාරම් තනතුරට පත් කිරීමට රජු කටයුතු කළා.

බොහෝ බලසම්පන්න රාජ්‍යයන් බිඳ වැටෙන්නේත්, නායකයන් කෙරෙහි සාමාන්‍ය වැසියාගේ විශ්වාසය ගිලිහෙන්නේත් අභ්‍යන්තර කුමන්ත්‍රණ නිසයි. ශ්‍රී වික්‍රම රාජසිංහ බොහෝ කලාකාමී රජෙකු බව ගොඩක් දෙනෙක් නොදන්නා කරුණක්. සෙංකඩගල පුරවරයේ සුන්දරත්වය ඔප්නංවන වැව් තලය සහ පත්තිරිප්පුව කරවූයේත් එතුමා විසින්.

රජු රටවැසියන් කෙරෙහි බොහෝ දයානුකම්පාව දැක්වූවා. රදළයන් ඇඳ පැළඳි අධික වටිනාකමකින් යුතු ඇඳුම්වල වියදම් පියවුණේ අසරණ වැසියන්ගේ බදු මුදලින් බව දැනගත් වහාම රජු ඔවුන්ගේ විචිත්‍ර ඇඳුම් භාවිතය නතර කළා; තුන් කෝරළයේ රදලයන් අහිංසක ගැමියන්ගේ ඉඩකඩම් පැහැරගෙන ඇති බවට ආරංචි වුණු විට ඒවා නැවත එම වැසියන්ටම ලබා දුන්නා;

ජනතාව පීඩාවට පත් කිරීම නිසා දිසාවේ තිදෙනෙකු තනතුරු වලින් පහ කළා. සක්‍රීයව පරිපාලන කටයුතුවලට සම්බන්ධ වූ නිසා රදළයන්ට සිතැඟි පරිදි අයථා ක්‍රියා කරන්නට ඉඩක් ලැබුණේම නැති තරම්. මෙවැනි කාරණා නිසා ඇතැම් මාන්නක්කාර රදළයන් රජු හා උරණව පසු වුණා.

රජු නොමිනිස් ගති ඇත්තෙකුගේ තත්ත්වයට පත් කළේ ඉංග්‍රීසීන් විසිනුයි. අයහපත් ඇසුර නිසා අධිකව මත්පැනට ලොල් වූ රජු පසුකාලයේදී ව්‍යාකූල මනසින් කල් ගෙව්වා. අසිහියෙන් සිටි ඔහු අල්ලේ නටවන්නට රදළයන්ට පුළුවන් වුණේ මේ නිසයි. මෙඩ්ලන්ඩ් ආණ්‌ඩුකාරයා රජුට රට බීම යැවීමෙන් ඔහුව මත්පැනට හුරු කළ බවයි සඳහන් වෙන්නේ.

‘ඇහැළේපොල විජයසුන්දර වික්‍රමසිංහ චන්ද්‍රෙස්කර සෙනෙවිරත්න ජයතිලක ඒකනායක අමරකෝන් වාහල පණ්ඩිත මුදියන්සේ’ ක්‍රි.ව.1773දී උතුරු මාතලේ උඩුගොඩ උඩුසියපත්තුවට අයත් ඇහැලේපොල ග්‍රාමයේ, ඇහැළේපොල වලව්වේදී උපත ලැබුවා. පුංචිරාල ලෙසද හඳුන්වා ඇති මෙතුමා නිහතමානී, කරුණාවන්ත පුද්ගලයෙකු වූ අතර බාහිර පෙනුමෙන් තීක්ෂණ බුද්ධියකින් හෙබි තැන්පත් අයෙකු ලෙස එක්වරම පෙනුණේ නැහැ.

මුලින්ම වාසල පණිවිඩකරන නිලමේ ලෙස කටයුතු කළ ඇහැළේපොල ඉන්පසු මඩුවේ ලේකම්, පල්ලේවාසල නිලමේ, මහ ගබඩා නිලමේ, සත් කෝරළේ දිසාවේ සහ ඌව දිසාවේ යන තනතුරු දැරුවා. පිළිමතලව්වේට මරණ දඬුවම ලබාදෙන කාලය වන විට ඔහු දෙවන අදිකාරම් ලෙස කටයුතු කළා.

ශක්තිමත් පාරම්පරික පසුබිමකට උරුමකම් කියූ ඇහැළේපොල පවුලට කටුගහ බණ්ඩාරනායක පරපුර, පිළිමතලව්වේ අරාවේ බ‍්‍රාහ්මණ පරපුර සහ මොණරවිල දන්ත බ‍්‍රාහ්මණ පරපුර වැනි ප්‍රභූන් නෑකම් කිව්වා. එවැනි උසස් සමාජ තත්ත්වයක් ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජුටවත් නොතිබූ අතර රටවැසියාගේ හිත සුව පිණිස රජු සේවය නොකරයි නම් රාජ්‍ය පාලනය භාර ගැනීම ප‍්‍රභූවරුන්ගේ සිරිතක්ව තිබුණා.

ඇහැළේපොල අදිකාරම්ට රජුගේ යකඩ දෝලියක වූ අළුත්ගම බිසෝ මැණිකා සමඟ රහස් සම්බන්ධයක් තිබූ බව සඳහන්. මෙය දැනගත් පසු ඇහැළේපොල කෙරෙහි රජුගේ තරහව නොසන්සිඳෙන වෛරයක් බවට හැරුණා. ඇහැළේපොල කුමාරිහාමි සමඟ සබඳතාවක් ඇතිකර ගැනීමට රජු උත්සාහ කළේ ඉන්පසුවයි. එයින් නොනැවතුණු රජු ඇහැළේපොලව රත්නපුරේ දිසාපති ලෙස සබරගමුවට පිටත් කළ අතර ඇහැළේපොල යන වචනයවත් ඇසෙනවාට අකමැතිව මහනුවර ආශ්‍රිතව තිබුණු ඇහැළ ගස් පවා කපා දැමූවා.

උතුරු මාතලේ, උඩුගොඩ උඩසියපත්තුවේ, මොණරවිල ග‍්‍රාමයේ, ගොලහැල නිලමේගේ සහ මොණරවිල කුමාරිහාමිගේ දියණියව උපන් ඇහැළේපොල කුමාරිහාමිගේ වැඩිමල් සොයුරා මොණරවිල කැප්පෙටිපොළ දිසාවේයි. විවාහයෙන් පසුව ඇහැළේපොල වලව්වට පැමිණි ඇය නියම උඩරට කුල කාන්තාවක සේ ඇඳුම් පැළඳුම් කළ බවත්, වලව්වේදී නැවුම් මල් ගෙල පළඳින්නට කැමැත්තක් දැක්වූ බවත් සඳහන්. නිතරම තම දරුවන් පේන මානයේ රඳවාගත් ඇය ඔවුන්ට මහත් ආදර කරුණා පෑ බවත් කියැවෙනවා. මේ අතර රජවාසල සඳලුතලයේ සිට, රජු ඇහැළේපොල කුමාරිහාමි දෙස බලමින් කල් ගෙවා තිබෙනවා.

ඇහැළේපොල පිළිබඳ වෛරය, රදළයන්ගේ කේලාම්, තමාව තඹේකට මායිම් නොකළ කුමාරිහාමිගේ අහංකාරකම සහ කිසි බය සැකක් නැතිව ඈ ‘දෙමළ වඩුගයා’ ලෙස තමන්ට අවමන් කිරීම යන කාරණා සියල්ල මත්වතුර හා කැලතී රජුගේ කෝප වියරුව උත්සන්න කර තිබුණා. සිංහල රාජ නීතියෙන් තහනම්ව තිබූ කාන්තාවන් හා දරුවන් මරා දැමීම නොසලකා හැරි ඔහු නිවාස අඩස්සියේ සිටි කුමාරිහාමි හා දරුවන්ට 1814 මැයි මස 2 වැනිදා නාථ දේවාල භූමියේ දේව සංහිඳ අසළදී මරණ දණ්ඩනය ලබා දුන්නා.
නරුම රජාගේ සිත වෙනස් වී අවසාන මොහොතේ හෝ කුමාරිහාමි සහ දරුවන් මරණින් ගැලවෙතැයි සිතූ රටවැසියන් සංත්‍රාසය සහ ශෝකය දරාගත නොහැකිව වැළපුණා. නිහඬව, සුපුරුදු සන්සුන් සහ උදාරම් ලීලාවෙන් පැමිණි ඇහැළේපොල කුමාරිහාමි අත තවමත් කිරිවරා නැති බිළිඳු දියණියත් සිටියා.

“දරුවනි බිය නොවන්න, අපි මරණයට නියමව සිටින්නෙමු. කෘෘර වඩුගයාගේ පිපාසය අපේ ලෙයින් සංසිඳේවා! මේ බිලි පූජාවෙන් නුඹලාගේ පියාණන්ට යහපතක්ම වේවා කියා ප්‍රාර්ථනා කරමු.”

පත්තිරුප්පුවේ සිට සියල්ල බලා සිටි රජුට ඇසෙන ලෙස ඇය උස් හඬින් කියා තිබෙනවා.

එකොලොස් වියැති ඇහැළේපොල ලොකු බණ්ඩාර, නව වියැති ඇහැළේපොල මද්දුම බණ්ඩාර සහ සය වියැති ඇහැළේපොල ටිකිරි මැණිකේ යන දරුවන්ගේ හිස් ගසා දැමුණු අතර මවගෙන් කිරි උරමින් සිටි ඇහැළේපොල ඩිංගිරි මැණිකා සිඟිත්තිය ඩැහැගත් වධකයින් ඇගේ ගෙල සිඳ මුවින් වැගිරෙන කිරිද සමඟ ගල් වංගෙඩියකට දමනු ලැබුවා. බිළිඳියව මෝල්ගසකින් කොටන ලෙස මවට අණ කෙරුණු අතර එසේ නොකළොත් උඩරට කුල කාන්තාවකට විඳිය හැකි උපරිම අවමානය වන කුලහීන ගහලයෙකුට පාවා දීම ද කරන බව පැවසුණා.

මේ අවස්ථාවේදී සිහිසුන් වූ කුමාරිහාමිගේ ගෙලෙහි ගල් බැඳ බෝගම්බර වැවේ ගිල්වා මරණයට පත් කරනු ලැබුවා.රජවාසල හැර මුළු නුවරම අඳෝනාවලින් පිරි සොහොනක් මෙන් දිස්වුණා. කිසිදු නිවසක ලිපගිණි දැල්වීමක් හෝ ආහාර පිසීමක් සිදු නොවූ අතර සියල්ලෝ උපවාසයෙන් කල් ගෙව්වා. ඇහැළේපොල මහාදිකාරම්ව මුරුසි දිවයිනට පිටුවහල් කෙරුණු අතර කි‍්‍ර.ව. 1829 අපේ‍්‍රල් 05 වැනිදා එතුමා මියැදුණු බව සඳහන්.

කිසිදු අභියෝගයකට හිස නොනැමීමත්, ඕනෑම ප්‍රශ්නයකට නොබියව මුහුණ දීමටත් අැහැළේපොල කුමාරිහාමිට තිබූ හැකියාව කාන්තා කාටත් වැදගත් අාදර්ශයක්.

Copyright © All rights reserved. | Newsphere by AF themes.