December 1, 2020

Kotuwa Paththare

Kotuwapaththare offical

මහා සෑය යළි ගොඩ නැගු හිමියන්ගේ කතාව

සකල ලෝක­වාසී බෞද්ධ­යන් අතර අනු­රා­ධ­පුර රුව­න්මැලි සෑය අති පූජ­නීය සිද්ධ­ස්ථා­න­යක් ලෙස සැල­කෙන්නේ එහි ශ්‍රී සර්වඥ ධාතු ද්‍රෝණ­යක් පමණ නිදන් කර ඇති නිසාත් අට්ඨ­ක­ථා­වල සඳ­හන් පරිදි සර්වඥ ධාතු වන්ද­නය සර්ව­ඥ­යන් වහන්සේ වැඳීම පිදීම හා සමාන වන බවත් නිසා ය. රුව­න්මැලි සෑයට විවිධ පුද පූජා පැවැත්වූ හෝ පිළි­ස­කර කිරීම් කළ විවිධ පාල­ක­කා­ර­කා­දීන් ගැන වංශ­ක­ථා­ව­ලින් හා ශිලා­ලි­පි­ව­ලන් විශාල තොර­තුරු ප්‍රමා­ණ­යක් ලැබේ.

එහෙත් පොදු ජන විඥා­නයේ දැඩිව රැඳී ඇත්තේ සෑය ඉදි කළ දුටු­ගැ­මුණු මහ රජ­තුමා සහ පර­ස­තුරු උව­දුරු නිසා වසර හය හත්සි­ය­යක් නට­බුන්ව වන වැදී තිබූ එම සෑය අද වන විට සැදැ­හ­ව­තුන්ට වඳි­න්නට පුද­න්නට අවැසි පරිදි දැවැන්ත සංර­ක්ෂ­ණය ආරම්භ කළ යති­ව­ර­යා­ණන් වන නාරං­විට සුම­න­සාර හිමිය.1872 දී ඉතා අප­හ­සු­වෙන් හා සුළු ප්‍රමා­ණ­යෙන් ආරම්භ කළ එම කාර්ය සහ­මු­ලින් සපු­රා­ගැ­නී­මට හැකි වූයේ 1940 වර්ෂයේ දී ශ්‍රීමත් ඩී.ඩී.ජය­ති­ලක, මහා­මාන්‍ය ඩී.ඇස්.සේනා­නා­යක මැති­ඳුන් ඇතුළු ගිහි පැවිදි පිරිස ලවා එහි කොත් පැල­ඳ­වී­මෙන් ය.


සිය­වස් හයක් තිස්සෙ ගරා වැටුණු සෑය රුව­න්මැලි සෑය නට­බුන්ව යෑමට හේතු වූයේ රජ­ර­ටට එල්ල වූ පර­ස­තුරු ආක්‍ර­ම­ණයි. ක්‍රිස්තු වර්ෂ 1215 දී රජ­ර­ටට එල්ල වූ කාලිංග මාඝගේ ආක්‍ර­ම­ණයේ ප්‍රති­ඵ­ලය වූයේ සිංහල පාල­ක­යන් හා ජන­තාව ජීවි­තා­ර­ක්ෂාව පතා දිව­යිනේ නිරිත දිග හා අනෙ­කුත් ප්‍රදේ­ශ­ව­ලට පලා යෑමය. එසේ පලා­ගිය පිරිස් අත­රින් 3 වන විජ­ය­බාහු 1232දී දඹ­දෙණි රාජ­ධා­නිය ආරම්භ කළේය. එතු­මාගේ පුත් දෙවන පරා­ක්‍ර­ම­බාහු රජ­තුමා විසින් 1255 දී රජ­ර­ටින් මාඝ එළවා දැමී­මෙන් පසු ආර­ක්ෂක හේතු මත නැවත අනු­රා­ධ­පු­රය හෝ පොලො­න්න­රුව රාජ්‍ය මධ්‍ය­ස්ථා­නය බවට පත් කර නොගැ­නීම නිසා රජ­රට වන වැදී ජන ශුන්‍ය වීම ඇර­ඹිණි. එහෙ­යින් අනු­රා­ධ­පුර රාජ­ධානි සමයේ දී එහි ඉදිවූ මහා ස්තූප ඇතු­ළත් මහා විහාර පිළි­ස­ර­ණක් නැතිව නට­බුන් වී මහ වන­යෙන් වෙළී ගියේය.

රුවන්මැලි සෑය නැගෙනහිර දොරටුව ළඟ පොකුණ – 1960 මේ තත්ත්වය යටතේ අනු­රා­ධ­පු­රයේ තර­මක් හෝ එළි­පෙ­හෙ­ළිව තිබුණේ ශ්‍රී මහා බෝධිය අවට භූමි ප්‍රදේ­ශය පමණ ය. මහ­නු­වර රාජ­ධානි සමයේ අනු­රා­ධ­පු­රය ඇතු­ළත් නුව­ර­ක­ලා­විය උඩ­රට පාල­නය යටතේ තිබුණ අතර 1815 ඉංග්‍රී­සින්ට උඩ­රට යටත් වීමත් සම­ගම නුව­ර­ක­ලා­විය ද ඉංග්‍රී­සින්ට අයත් විය. ඒ අනුව ඉංග්‍රී­සින් නුව­ර­ක­ලා­විය පාල­නය සඳහා ඔවුන්ගේ කාර්යාල හා නවා­තැන් සාදා ගත්තේ එසේ තර­මක් හෝ එළි­පෙ­හෙ­ළිව තිබූ ශ්‍රී මහා බෝධිය අවට භූමියේ ය.

නාරං­විට සුම­න­සාර හිමි ශ්‍රී මහා බෝධිය භාරව උඩ­රට රාජ­ධානි සමයේ සිට ඉප­ලෝ­ගම අත්ථ­දස්සි නමින් තෙරුන් වහන්සේ නමක් සිටිය ද 1869 වන තුරු රුව­න්මැලි සෑ භූමියේ ආවා­ස­යක් හෝ භික්ෂූ වාස­යක් නොවීය. උඩ­රට ඇතුළු දිව­යිනේ සම­හර පළා­ත්ව­ලින් පොසොන් සමයේ පම­ණක් ශ්‍රී මහා බෝධිය වැඳී­මට විශාල සැදැ­හැ­ව­තුන් පිරි­සක් පැමිණි අතර එම පිරිස් නට­බුන්ව වන වැදී තිබූ රුව­න්මැලි සෑය වැඳී­මට ද ගිය හෙයින් ශ්‍රී මහා බෝධි ආවා­සයේ වැඩ­සිටි එක් භික්ෂූ­වක් පොසොන් සම­යට පම­ණක් රුව­න්මැලි සෑයට වැඩම කිරී­මක් වාර්තා වී ඇත. ඒ පරි­ස­රය යටතේ 1853 පොසොන් සමයේ දී සැදැ­හැ­ව­තුන් පිරි­සක් විසින් පෙර­හ­රක් පවත්වා ස්තූපය මුදුණේ කොතක් පැලඳ වූ බව උතුරු මැද පළාත් ඒජන්ත ඉංග්‍රීසි ජාතික අයි­වර්ස් සඳ­හන් කර ඇති අතර එහි ඡායා­රූප ද දක්නට ලැබේ.

එසේ නට­බුන්ව තිබූ රුව­න්මැලි සෑයේ භාර­කා­ර­ත්ව­යට මෑත යුගයේ ප්‍රථ­ම­යෙන් ම පත් වන්නේ නාරං­විට සුම­න­සාර හිමිය. උන් වහන්සේ මර­ද­න්ක­ඩ­වල අසල කොස්සෝ­කන්ද ආරණ්‍ය වාසයේ සිට රුව­න්මැලි සෑය භාරව පැමිණි ආකා­රය ගැන විස්තර දක්නට ඇත. ඒ වන විට නුව­ර­ක­ලා­ගම් පළාත භාර ව සිටි රත්වත්තේ රටේ මහතා සහ හුරුළු පළාත භාර උල­ගල්ලේ රටේ මහතා ගරා වැටෙ­මින් පැවැති රුව­න්මැලි සෑය ගැන අව­ධා­නය යොමු කර­මින් රුව­න්මැලි සෑයේ ආග­මික කට­යුතු ක්‍රියා­ත්මක කළ හැකි හා එම ස්ථානය වැඩි දියුණු කළ හැකි සිල්වත් හා ජවය ඇති භික්ෂු­වක් ලබා­දෙන ලෙස කොස්සෝ­කන්ද වන­වාසි භික්ෂු ප්‍රධා­නීන්ට කරන ලද ඉල්ලීම අනුව කොස්සෝ­කන්ද වන­වා­සයේ වැඩ සිටි තරුණ භික්ෂු­වක වු නාරං­විට සුම­න­සාර හිමි සුදුසු බව උන්ව­හ­න්සේලා විසින් යෝජනා කර ඇත.

ඒ අනුව එහි වැඩම කළ උන්ව­හන්සේ සැදැ­හ­ව­තුන්ගේ සහ­යෝ­ග­යෙන් රුව­න්මැලි සෑයේ වැවී තිබු ගස් කොළන් එළි­පෙ­හෙළි කර­මින් සිටි අව­ස්ථාවේ උන් වහන්සේ පිළි­බඳ තොර­තුරු විමසා බලා රුව­න්මැලි සෑයේ සංව­ර්ධන කට­යුතු කිරී­මට නම් සියම් නිකා­යට හැරී ඒ බව සහ­තික කරන ලිපි­යක් මල්වතු මූල­ස්ථා­න­යෙන් ගෙන එන ලෙස අට­ම­ස්ථා­නා­ධි­පති හිමි දැනුම් දුන් බවත් ඒ අනුව උන්ව­හන්සේ සියම් නිකා­යට හැරී මල්වතු අධි­කා­රි­යෙන් ලිපි­යක් ගෙනා බවත් ප්‍රවා­දයේ පවතී.

එසේ 1872 දී උන්ව­හන්සේ රුව­න්වැලි චෛත්‍යා­ධි­කාරි ලෙස පත් වීමෙන් පසු රුව­න්මැ­ලි­සෑයේ ප්‍රති­සං­ස්ක­රණ කට­යුතු ඇර­ඹූහ. වර්ෂ 1899 සිට වලි­සිංහ හරි­ස්චන්ද්‍ර තුමාත් එම කට­යුත්ත සඳහා සම්බන්ධ විය. වර්ෂ 1912 සිට රුව­න්මැලි සෑ සංව­ර්ධ­නය සඳහා ආධාර ලබා ගැනී­ම­ටත් අනු­රා­ධ­පුර බෞද්ධ ප්‍රබෝ­ධය ඇති කිරී­ම­ටත් “සිරි අනු­රා­පුර පුවත” නමින් පුව­ත්ප­තක් මුද්‍ර­ණය කර රට පුරා බෙදා හැරී­ම­ටත් කට­යුතු කර ඇත. (එම පුව­ත්පත ජාතික ලේඛ­නා­ගා­රයේ ඇත.)

කොස්සෝ­කන්ද අර­ණ්‍යයේ වැඩ­සිටි නාරං­විට සුම­න­සාර හිමි­යන් උප­ස­ම්ප­දාව ලබා­ති­බුණේ රාමඤ්ඤ නිකා­යෙනි. වර්ෂ 1864 රාමඤ්ඤ නිකාය ආරම්භ වූ මුල් සමයේ දී ම නුව­ර­ක­ලා­විය ප්‍රදේ­ශයේ එම නිකාය ව්‍යාප්ත වූයේය. ඒ අව­ස්ථාවේ අස්ගිරි පාර්ශ්ව­යට අයත් වූ කොස්සෝ­කන්ද අර­ණ්‍ය­වාසී ආරා­මයේ භික්ෂූහු රාමඤ්ඤ නිකා­යට හැරු­ණහ.

රාමඤ්ඤ නිකා­යට අයත් වූ හඳ­ගල පර­පුර සමඟ මර­ද­න්ක­ඩ­වල ප්‍රදේ­ශයේ කොස්සෝ­කන්ද වන­වාසී පර­පුර ද බැඳී සිටි­යේය. හඳ­ගල පර­පුර මහ­පු­ලි­ය­න්කු­ලමේ දීපං­කර හිමි­ගෙන් ආරම්භ විය. නාරං­විට හිමි ගල්ලැ­න්ගොල්ලේ වැඩ­ව­ස­මින් රාමඤ්ඤ නිකාය මඟින් ගම්පොළ උද­කු­ක්ඛෙප සීමාවේ ප්‍රථ­ම­යෙන් කළ උප­ස­ම්පදා විනය කර්මයේ දී උප­ස­ම්පදා වී ඇත. උන්ව­හ­න්සේගේ ජන්ම භූමිය ගම්පො­ළ­ප්‍ර­දේ­ශය යැයි පැවසේ. තව ද උඩු­නු­වර ගල්ලැ­න්ගොල්ලේ වැඩ­විසු විද­ර්ශ­නා­චාර්ය වැලි­ග­මුවේ අත්ථ­දස්සී හිමි­යන්ගේ ශිෂ්‍ය භික්ෂු­වකි. එසේ ම ගල්ලැ­න්ගොල්ල විහා­ර­වාසී භික්ෂූ­වකි.

රුව­න්මැලි සෑ ප්‍රති­සං­ස්ක­ර­ණය වැලි­ග­මුවේ හිමි සියම් නිකා­යික භික්ෂූ­වක වු අතර 1867 මහ­වැලි ගඟේ ගම්පොළ රංක­ඩ­ඇල්ලේ දී පැවැත් වු උප­ස­ම්පදා විනය කර්මයේ දී රාමඤ්ඤ නිකා­යෙන් දළ්හි­කම්ම උප­ස­ම්ප­දාව ලබා ගැනී­මෙන් රාමඤ්ඤ නිකා­යට එක් වී ඇත. ඒ අනුව උන්ව­හ­න්සේගේ ශිෂ්‍ය පිරිස ද රාමඤ්ඤ නිකා­යට ඇතු­ළත් වී ඇත. එම පිරිස අතර නාරං­විට සුම­න­සාර, දුම්බර ආයු­පාල, නාරං­ප­නාවේ ඉන්ද­ජෝති, උලං­කු­ලමේ සර­ණං­කර, පුලි­ය­න්කු­ලමේ සුමං­ගල, ශස්ත්‍ර­වෙ­ල්ලියේ උප­සේන හා වැලි­ග­මුවේ සිල­ර­තන යන භික්ෂුන් වහන්සේ ද වුහ.

එසේ ඉති­හා­ස­ය­කට හිමි­කම් කියන නාරං­විට සුම­න­සාර හිමි විසින් රුව­න්මැලි සෑය ගරා වැටී­මෙන් සල­ප­තළ මළුවේ රැස් වී තිබූ සුන්බුන් හා පස් ඉවත් කිරීම 1872 අප්‍රේල් සිට ආරම්භ කරන ලද බව එව­කට අනු­රා­ධ­පුර ආණ්ඩුවේ ඒජන්ත ඩික්සන්ගේ වාර්තා, සහ සිරි අනු­රා­පුර පුවත නම් පුව­ත්පත (සිරි අනු­රා­පුර පුවත. 1909. දෙසැ:01) ආදී මුලා­ශ්‍ර­ය­වල සඳ­හන් ය. රජ­රට ශිෂ්ටා­චා­රය 1215 න් පසු වන වැදී යෑම නිසා එතැන් පටන් ගරා වැටෙ­මින් තිබූ රුව­න්මැලි සෑයේ 1829 දී විශාල නාය යෑමක් ද 1885 දී විශාල නාය යෑම් දෙකක් ද සිදු වූ බව ඒජන්ත ඩික්සන් සඳ­හන් කර ඇත. එම ගරා­වැ­ටීම් ද ඉවත් කළ සුන්බුන් අතර විය.

1872 සිට නාරං­විට සුම­න­සාර හිමි රුව­න්මැලි සෑයේ සංව­ර්ධන කට­යුතු ආරම්භ කර­මින් සිටි අව­ස්ථා­වක ග්‍රෙගරි ආණ්ඩු­කා­රයා එහි පැමිණ විට වූ සිද්ධි­යක් සිරි අනු­රා­පුර පුවත ප්‍රවෘත්ති පත්‍රයේ සඳ­හන් ය. බර­ක­ර­ත්ත­ය­කට පොල් අතු කිහි­ප­යක් වසා සාදා­ගත් ආව­ර­ණ­යක් යට උන්ව­හන්සේ වැඩ­සිටි බවත් සතෙකු යැයි සිතා ආණ්ඩු­කා­රයා විසින් උන්ව­හ­න්සේට වෙඩි තැබී­මට සූදා­නම් වූ අව­ස්ථාවේ උන්ව­හ­න්සේගේ කෑගැ­සීම නිසා වෙඩි තැබීම වැළකී ඇති බවත් සඳ­හන්ය.

අන­තුරු ව උන්ව­හන්සේ එහි කුමක් කර­න්නේ­දැයි ආණ්ඩු­කා­රයා විසින් කළ විම­සී­මට පිළි­තුරු වශ­යෙන් ස්තූපය සංර­ක්ෂ­ණ­යට සූදා­නම් වන බව පවසා ඇත.ආණ්ඩු­කා­ර­යාගේ පිළි­තුරු වූයේ “උඹ­ලාගේ ආගමේ නැවත උප­දින බව කියා තිබෙ­නවා නොවේද? උඹ හත් පාරක් ඉප­දු­ණත් එය කාර්යය කළ හැකිද?” යන්න ය. ඉන් වසර කිහි­ප­ය­කට පසු නැවත එහි පැමිණ එම ආණ්ඩු­කා­රයා ස්තූපයේ සුන්බුන් පස් ඉවත් කිරීමේ ප්‍රග­තිය දැක ‘උඹ නම් නියම සිංහ­ල­යෙක්‘ යැයි පවසා ආධාර මුද­ල­කුත් එම කාර්ය කර­ගෙන යෑම සඳහා සහ­තික පත්‍ර­ය­කුත් ලබා දී ඇත. (සිරි අනු­රා­පුර පුවත 1918.01.01)

ප්‍රති­සං­ස්ක­ර­ණය කළ බැම්ම බිඳ වැටීම උන්ව­හන්සේ දඹ­දිව ගොස් සිටි අව­ස්ථා­වක එතෙක් ඉදි කර තිබූ ප්‍රති­සං­ස්ක­රණ කොටස් ගැලවී බිමට පතිත වී තිබේ. ඒ පිළි­බඳ අද­හස් කීප­යක් වූව ද අතර එතෙක් කළ කොටස පෙර ස්තූප­යෙන් ගරා­වැටී තිබූ ගඩොල් කැබ­ලි­ව­ලින් බැඳීම නිසා බන්ධ­නය නිසි ලෙස සිදු නොවී­මෙන් වූවක් සේ ද සලකා ඉන් පසු සම්පූර්ණ ගඩොල් පම­ණක් භාවි­ත­යට ගෙන ඇත. ගරා වැටුණ රුව­න්මැලි සෑ පිට ප්‍රාකා­රය මතට සුන්බුන් පස් පිරෙ­න්නට ඇත්තේ එම අව­ස්ථාවේ දී ය.

1872 වන තුරු ස්තූපය කඩා වැටී­මෙන් රැස්වූ සුන්බුන් හා 1910 නොවැ­ම්බර් 07 දින එතෙක් ප්‍රති­සං­ස්ක­ර­ණය කර තිබූ කොටස කඩා වැටී­මෙන් (සිරි අනු­රා­පුර පුවත.ජන­වාරි 01) එම සුන්බුන් රැස්වී ඇත. 1872 සිට ස්තූපය ගරා වැටී­මෙන් ස්තූපයේ පහළ කොට සේත් සල­ප­තළ මළු­වේත් රැස්ව තිබූ පස් හා සුන්බුන් ඉවත් කිරීම සුළු­පටු කාර්යක් නොවේ. ඒ ආකා­ර­යෙන්ම අභ­ය­ගිරි ස්තූපයේ ගරා වැටී­මෙන් රැස්ව තිබූ පස් හා සුන්බුන් රාජ්‍ය මැදි­හත් වීමෙන් ඉවත් කිරී­මට වැය වූ ශ්‍රමය හා මුදල් ප්‍රමා­ණය දෙස බලා සංස­න්ද­නය කිරීමේ දි යන්ත්‍ර සූත්‍ර නැතිව උන් වහන්සේ කර ඇති කාර්ය සුළු­පටු නොවේ.

රුව­න්මැලි සෑයේ සංව­ර්ධන කට­යුතු කඩි­නම් වීමට තවත් ආධා­ර­යක් වූයේ 1899 දී වලි­සිංහ හරි­ස්චන්ද්‍ර තුමා අනු­රා­ධ­පු­ර­යට පැමිණ 1901 දී මහා­බෝධි සමා­ගමේ ශාඛා­වක් ආරම්භ කර ඉන් පසු සුම­න­සාර හිමි­යන්ගේ චෛත්‍ය සංව­ර්ධන ක්‍රියා­ව­ලි­යට ද සම්බන්ධ වීම ය.ඒ අනුව එතුමා සමඟ එක්ව නාරං­විට හිමි රුව­න්මැලි සෑ චෛත්‍ය සංව­ර්ධන සමි­තිය පිහි­ටුවා මහ­ජන ආධාර ලබා­ගැ­නී­මට සිරි අනු­රා­පුර පුවත නමින් පුවත් පතක් ද ආරම්භ කර තිබේ. එම සමි­තියේ අනු­ශා­සක වූයේ සුම­න­සාර හිමිය. සමි­තිය මඟින් චෛත්‍ය සංව­ර්ධ­නය සඳහා ආධාර මුදල් එක්රැස් කර­ගැ­නීම හා එහි ප්‍රචා­රක කට­යුතු කර­ගෙන යෑමේ දී සිරි අනු­රා­පුර පුවත පත්‍රය විශාල කාර්යක් ඉටු කර ඇත.

දිව­යින් පුරා සියලු ගම් නිය­ම්ගම් නගර ආව­ර­ණය වන පරිදි කරන ලද ප්‍රචා­රය නිසා රුව­න්මැලි චෛත්‍ය සංව­ර්ධන සමි­තියේ ශාඛා විශාල සංඛ්‍යා­වක් දිව­යිනේ බොහෝ ප්‍රදේ­ශ­වල ආරම්භ වී ඒ මඟින් ආධාර මුදල් එක්රැස් කර තිබේ. ඒ ඒ අව­ස්ථාවේ සැදැ­හැ­ව­තුන් ලබා­දුන් මුදල් ප්‍රමා­ණය එම පුවත් පත මඟින් ප්‍රකා­ශ­යට පත් කිරීම නිසා ජන­තාව අතර තම පරි­ත්‍යාග පිළි­බඳ විශ්වා­ස­යක් ඇති විය.

ආධාර මුදල් රැස් කර­ගැ­නීමේ දී උන්ව­හන්සේ විසින් අනු­ග­ම­නය කළ තවත් ක්‍රම­යක් පුවත් පතේ සඳ­හන් ය. එනම් ගමින් ගම පිං පෙට්ටි­යක් තබා ආධාර රැස් කිරී­මය. තව ද පතල් කර්මාන්ත කරු­වන්ට හා තේ පොල් කුරුඳු හා පැඟිරි කර්මා­න්ත­ක­රු­වන්ට ආරා­ධනා කර­මින් ඔවුන්ගේ ආය­ත­න­වල සේවය කරන පිරි­ස්ව­ලින් වැටුප් ගෙවී­මේදී වැටු­පෙන් ස්වල්ප­යක් පුණ්‍ය කට­යුතු සඳහා ලබා­ගෙන එය රුව­න්මැලි සෑයේ සංව­ර්ධ­නය සඳහා එවන ලෙස ය.

පුව­ත්පත මඟින් සිදුවූ තවත් සද් කාර්ය­යක් වූයේ රුව­න්මැලි සෑය ගැනත් ලංකාවේ බෞද්ධ ඉති­හා­සය පිළි­බ­ඳත් පොදු ජන­තාව දැනු­වත් කෙරනෙ ලිපි පෙළක් ප්‍රචා­රය කර­වීම ය. සෑයේ ප්‍රති­සං­ර­ක්ෂණ කටු­යුතු අව­සන් කිරී­මට අවශ්‍ය ගඩොළු සංඛ්‍යාව හා ඒ සඳහා වැය වන මුදල වැලි­ගම උළු­ව­ඩුගේ තිය­දෝ­රිස් සිල්වා බාස් තැන­ගෙන් ලබා­ගෙන ගඩොල් 100ක් බැඳී­මට රුපි­යල් පහක් ආදී වශ­යෙන් දැන්වීම් පළ කිරී­මෙන් සම­හර දාය­ක­යන් රුපි­යල් ලක්ෂය දෙක දෙන තත්ත්ව­යට වර්ධ­නය කර­ගැ­නී­මට හැකි විය. උදා­හ­ර­ණ­යක් වශ­යෙන් අකු­රැස්සේ හේනේ­ගම සිටු­ගෙයි දොන් අන්ද්‍රි­යෙස් සිල්වා අප්පු­හාමි රුපි­යල් ලක්ෂ දෙක හමා­රක මුද­ලක් ලබා­දීම සිරි අනු­රා­පුර පුවත පත්‍රයේ සඳ­හන් ය.

රුව­න්මැලි සෑය සංව­ර්ධ­නය සඳහා උන් වහන්සේ විසින් දිව­යින පුරා ගෙන ගිය ප්‍රචා­රක කට­යු­තු­වල අතුරු ප්‍රති­ප­ල­යක් ද විය. එනම් ලංකාව පුරා සිටි බෞද්ධ ජන­තා­වගේ අව­ධා­නය අනු­රා­ධ­පුර බෞද්ධ නට­බුන් කෙරේ යොමු වීම ය.එම­ඟින් බෞද්ධ ජන­තාව අනු­රා­ධ­පු­රය දැක­බලා ගැනි­ම­ටත් එහි පුරාණ සිද්ධ­ස්ථාන වැඳ පුදා­ගැ­නී­ම­ටත් වැඩි වැඩි­යෙන් පැමි­ණීම අනු­රා­ධ­පුර බෞද්ධ බල­වේ­ගය වැඩි දියුණු වීම­ටත් ශුද්ධ නග­රය ආරක්ෂා කර­ගැ­නී­ම­ටත් හේතු විය.

කොළඹ ජින­සේන සමා­ගම ස්තූප මුදු­නට ජලය සැප­යීම සඳහා ජල යන්ත්‍ර­යක් සාදන ලදී. 1940 ජූනි 17 වන දින දී අම­ර­පුර නිකා­යික භික්‍ෂූන්ගේ ඉදි­රි­පත් වීමෙන් බුරුම රටින් ගෙන්වනු ලැබූ පළි­ගු­ව­කින් කොත පල­ඳ­වනු ලැබීය. එම උත්ස­වය ශ්‍රීමත් ඩී. බී. ජය­ති­ලක, ඩී.ඇස්, සේනා­නා­නා­යක රත්වත්තේ දිය­ව­ඩන නිලමේ ඇතුළු සම්භා­ව­නීය පිරි­ස­කගේ මූලි­ක­ත්ව­යෙන් සිදු කරන ලදී.

පසුව රුව­න්මැලි සෑයේ සංව­ර්ධන කට­යු­තු­ව­ලදී හමු වූ විවිධ කරඬු ඇතු­ළත් බෞද්ධ පුරා­වස්තු ප්‍රද­ර්ශ­නය සඳහා වැලි­ම­ළුවේ නැඟෙ­න­හිර දොර­ටුව අසල ගොඩ­නැ­ගි­ල්ලක් ඉදි කර එය පසුව නාරං­විට සුම­න­සාර කෞතු­කා­ගා­රය යනු­වෙන් නම් කොට තිබු­ණත් පසු කාලයේ එය ඉවත් විය.

එව­කට පුරා­විද්‍යා කොම­සා­රිස්ව සිටි මහා­චාර්ය සෙන­රත් පර­ණ­වි­තාන මහතා රුව­න්මැලි සෑ භූමියේ කෞතු­කා­ගා­ර­යක් සෑදීමේ අව­ශ්‍ය­තාව පෙන්ව­මින් එව­කට පුරා­වි­ද්‍යාව භාරව සිටි අධ්‍ය­පන ඇම­ති­තු­මාට වැය ශීර්ෂ­යක් ඉදි­රි­පත් කළ බවත් එහෙත් මුදල් වෙන් වී නැති බවත් කන­ගා­ටු­වෙන් සඳ­හන් කර තිබේ.නාරං­විට සුම­න­සාර හිමි­යන් වෙනු­වෙන් එම භූමියේ කෞතු­කා­ගා­ර­යක් ඉදි කිරීම දැන්වත් සිදු විය යුත්තකි.

Copyright © All rights reserved. | Newsphere by AF themes.