මිනිසුන්ට තහනම් ලංකාවට ආසන්න මුහුදේ පිහිටි බිහිසුණු ගෝත්‍රිකයන්ගේ අභිරහස් දුපත

ඉන්දියාවේ පාලනය යටතේ පවතින අන්දමන් හා නිකොබාර් දූපත් සමූහයට අයත් උතුරු සෙන්ටිනල් දූපත පිළිබඳ මේ දිනවල බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇත්තේ එම දූපතේ වෙසෙන ගෝත්‍රිකයන් විසින් දූපත වෙත ගිය ජෝන් ඇලන් චාවු නමැති ඇමෙරිකානු මිෂනාරිවරයකු දුනු හීවලින් විද මරා දැමීමේ සිද්ධිය මුල් කරගෙනය. සෙන්ටිනල් දූපත බාහිර ලෝකයේ වඩාත් ප්‍රකට පිටස්තරයන්ගෙන් වඩාත්ම හුදෙකලා වූ මිනිස් වාසයක් ලෙසය. වසර ගණනාවක් පුරා විවිධාකාරයේ උත්සාහයන් දරනු ලැබුවද සෙන්ටිනලයන් හා මිත්‍ර සමාගම් පැවැත්වීමට සමත් වූ පුද්ගලයන් පිළිබඳ අසන්නට නොමැති තරම්ය. කොටින්ම මොවුන්ගේ සමීප ඡායාරූපයක් ගැනීමට තරම්වත් ඔවුන්ට සමීප වූ පුද්ගලයකු සොයා ගැනීම පවා උගහටය.

වසර 1981 ප්‍රිම්රෝස් නමැති භාණ්ඩ ප්‍රවාහන නෞකාව බෙංගාල බොක්කේ ගල්පරයක ගැටී අනතුරට පත් විය. නැවේ කාර්ය මණ්ඩලය 28ක් වූ අතර ඔවුන්ට වූ එකම විකල්පය බාහිරින් ආධාරයක් ලැබෙනතුරු නැවේ රැඳී සිටීම පමණි.

දින කීපයකට පසු නැව අනතුරට පත් වූ ස්ථානයට අෑතින් වූ දූපතේ වෙරළේ මිනිසුන් කීප දෙනකු ගැවසෙන අයුරු අවට නිරීක්ෂණ කටයුතුවල යෙදී සිටි නාවිකයකුට දක්නට ලැබුණු අතර ඔහු ඒ පිළිබඳ නෞකාවේ කපිතාන්වරයාට දන්වන ලදී. මොහොතකින් එම දූපත් වැසියන් දුනු, හී, හෙලි අමෝරාගෙන බෝට්ටු දෙකකින් නෞකාව දෙසට යාත්‍රා කරන අයුරු දක්නට ලැබිණි.

නැව වෙත සමීප වූ සෙන්ටිනල් ගෝත්‍රික පිරිස දුනු, හී, හෙලිවලින් විදිමින් දින 3ක් පුරා නාවිකයන් මරා දැමීම සඳහා මෙහෙයුමක නිරත වූහ. නාවිකයෝ තම අතට හසුවන සෑම දෙයක්ම ආයුධ බවට පත් කරගෙන මේ ගෝත්‍රිකයන්ගෙන් දිවි ගලවා ගැනීමේ සටනක නිරත වූහ. කෙසේ හෝ අනතුරට පත් නෞකාව වෙත ළඟා වූ ඉන්දීය නාවික හමුදා යාත්‍රාවක් මඟින් භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ කාර්ය මණ්ඩලය මුදා නොගන්නට නියත වශයෙන් ගෝත්‍රිකයන් විසින් ඔවුන් මරා දමනු ඇත. මේ වන විට එම සිදුවීමෙන් වසර 37ක් ගෙවී ඇති අතර ප්‍රිම්රෝස් නෞකාව තවමත් තිබූ තැනම තිබෙන ආකාරය ගුවනින් යන්නකුට දැකිය හැකිය.

සෙන්ටිනල් ගෝත්‍රිකයන්ගේ බිහිසුණු බව නිසාම ඉන්දීය රජය විසින් කිසිදු බාහිර පුද්ගලයකුට එහි ඇතුළුවීම තහනම් කොට තිබේ. ඔවුන්ගේ මෙම ප්‍රචණ්ඩකාරී ස්වභාවය කොතරම්ද යත් ලොව අධි තහනම් කලාප 10 අතරින් එකක් ලෙසද උතුරු සෙන්ටිනලය නම් කොට තිබේ.

ඝාතනයට ලක්වූ චාවු මිෂනාරිවරයා මෙම දූපත බලා යාත්‍රා කොට ඇත්තේ ධීවර යාත්‍රාවකට ඉන්දීය රුපියල් 25,000ක් ගෙවා නීති විරෝධී අයුරිනි. ඒ අනුව තවත් ධීවරයන් 5 දෙනකු සමඟ ඔහු නොවැම්බර් 14 වැනි දින සවස් භාගයේ අන්දමන් දූපත් සමූහයේ අග නගරය වන දකුණු අන්දමන් දූපතේ පිහිටි පෝට් බ්ලෙයාර් නගරයෙන් ගමන ආරම්භ කොට ඇත. ධීවරයන් පොරොන්දු වූ පරිදි යාත්‍රාව දූපතට සැතපුම් එකහමාරක් පමණ අෑතින් නතර කොට ඇති අතර ඉන් එහා යෑම ඔවුන් ප්‍රතික්ෂේප කොට තිබුණේ සෙන්ටිනලයන්ගේ ම්ලේච්ඡත්වය පිළිබඳ හො¼දාකාරවම දන්නා බැවිනි. එතැන් සිට චාවු තම ‘කයැක්’ යාත්‍රාව හබල් ආධාරයෙන් පදිමින් දූපත දෙසට ගොස් තිබේ.

මඳ වේලාවකට පසු නැවත බෝට්ටුව වෙත පැමිණි චාවු අත වූ බයිබලය හීයක් පසාරු කරගෙන ගොස් තිබූ අතර එය ගෝත්‍රිකයකු විසින් චාවු වෙත දක්වා ඇති මුල්ම ප්‍රතිචාරයයි. එම හී පහර ඔහුගේ පපුවටම එල්ල කොට තිබූ අතර ඔහු තමා අත වූ බයිබලයෙන් පපුව ආවරණය කර නොගන්නට ඔහුගේ ඉරණම විසඳෙන්නේ ඒ මොහොතේමය.

නොවැම්බර් 16 වැනි දින නැවත වතාවක් දූපත සමීපයට ගියද එදිනද ඔහුගේ උත්සාහය අසාර්ථක වන අතර 17 වැනි දින නැවතත් දූපත වෙත ගොස් එහි ගොඩබසින අයුරු ධීවරයන් දැක තිබේ. අනතුරුව ගෝත්‍රිකයන් හීවලින් විද චාවු මරා දමා ඔහුගේ ගෙලට ලණුවක් දමා වෙරළ දිගේ ඇදගෙන ගොස් වෙරළේ වළක් හාරා සිරුර මිහිදන් කරන අයුරු දුටු ධීවරයන් වහාම යාත්‍රාව හරවාගෙන පෝට් බ්ලෙයාර් වෙත පැමිණ ඒ බව බලධාරීන්ට දන්වා තිබේ. මේ බව විමර්ශනය කිරීම සඳහා දූපත බලා හෙලිකොප්ටර් යානයක් යැවීමට බලධාරීන් පියවර ගනු ලැබුවද එය දූපතට ගොඩබෑමට ඔවුන්ට හැකි වී නැත. මීට පෙර අවස්ථා කිහිපයකදී ද විවිධ හේතූන් මත උතුරු සෙන්ටිනල් දූපත වෙත ගිය පිටස්තරයන් බොහෝ දෙනකුටද එල්ල වී ඇත්තේ මහත් බිහිසුණු ප්‍රතිචාරය. වසර 1974 සෙන්ටිනල් දූපත හා එහි වෙසෙන ගෝත්‍රිකයන් පිළිබඳ වාර්තා වැඩසටහනක් නිර්මාණය කිරීමට ගිය නැෂනල් ජියොග්‍රැෆික් නිෂ්පාදක කණ්ඩායමකට නැවත ආපසු හැරී ඒමට සිදුවූයේ හී වරුසාවකට ගොදුරුව තුවාලද ලබමිනි.

වසර 2006 දී නැව්වල සුන්බුන් සොයා ගිය පුද්ගලයන් දෙදෙනකු දූපතට ගොඩබට අවස්ථාවේදී ගෝත්‍රිකයන් විසින් ඔවුන් දෙදෙනා මරා දමා සිරුර රිටිවල එල්ලා තිබිණි. සෙන්ටිනල් ගෝත්‍රිකයන්ගේ මෙම ම්ලේච්ඡත්වය ඔවුන්ගේ ජානවල මුසුව ඇති සෙයකි. මේ සියලු දෑ ඔවුන් විසින් සිදු කරනු ලබන්නේ බාහිරින් තම ගෝත්‍රික සමාජය වෙත එල්ලවන බලපෑම් වළකා ගැනීම සඳහාය.අතීතයේ මෙම දූපත පැවැතියේ බි්‍රතාන්‍ය පාලනය යටතේය.

මෙම ගෝත්‍රික ජනයාට බාහිර ලෝකය පෙන්වා ඔවුන් ශිෂ්ට සම්පන්න කිරීමට උත්සාහ කළ රාජකීය නාවික හමුදාවේ අණ දෙන නිලධාරියකු වූ මොරිස් වයිඩල් පෝර්ට්මන් වැඩිහිටි ගෝත්‍රිකයන් දෙදෙනකු සහ ළමයින් සිවු දෙනකු අල්ලාගෙන දූපතින් බැහැරට කැඳවාගෙන විත් විවිධ සැප සම්පත් ලබා දී තිබේ. නමුත් දින කීපයකින් දැඩි ලෙස රෝගාතුර වූ වැඩිහිටි ගෝත්‍රිකයන් දෙදෙනා මිය ගිය අතර ළමයින් හතර දෙනා විවිධ තෑගි බෝගද සමඟින් නැවත දූපත වෙත ඇරලවීමට පියවර ගන්නා ලදී. නමුත් ඉන් අනතුරුව එම ළමයින් පිළිබඳ කිසිවක් දැනගන්නට ලැබී නැත.

කෙසේ හෝ බි්‍රතාන්‍ය පාලනයට නතුව සිටි සමයේ සෙන්ටිනල් ගෝත්‍රිකයන් මත්පැන්, දුම් පානය සහ සීනිවලට දැඩි ලෙස ඇබ්බැහි වීමෙන් විවිධ රෝගාබාධවලට ගොදුරු වූ බවද සඳහන්ය. 2004 හටගත් සුනාමියෙන්ද ගෝත්‍රිකයන් විශාල සංඛ්‍යාවක් මිය යන්නට ඇති නමුදු ඒ පිළිබඳ කිසිදු සොයා බැලීමක් කිරීමට හැකියාවක් නැත. එම අවස්ථාවේ ඔවුන්ට සහනාධාර ලබාදීමට ගිය හෙලිකොප්ටර් සහ නාවික යාත්‍රාවලට පවා ඔවුන් දුනු හීවලින් පහර දී පලවාහැර තිබේ. විවිධ හේතූන් නිසා 1855 වසරේ 5000කට අධික වූ ගෝත්‍රික ගහනය 1931 පමණ වන විට 500කටත් අඩු සංඛ්‍යාවක් දක්වා පහත වැටී ඇත. බාහිර ලෝකයෙන් හුදෙකලා වීමත් සමඟ මෙම ගෝත්‍රිකයන් ප්‍රතිශක්තිකරණ ශක්තිය හීන වීම වැනි තත්ත්වයන්ට ලක්වන බැවින් බාහිර පුද්ගලයන්ගේ පැමිණීමෙන් නොයෙක් රෝගවලට ගොදුරු වී ගෝත්‍රිකයන් මරණයට පත්වීමේ අවදානමක්ද මතුවිය හැකි බවටද මත පළවී ඇත. ඔවුන් බැහැරට රැගෙන ඒමේදීද ඒ අවදානම මතු වේ. මේ සියලු දෑ සැලකිල්ලට ගෙන ඉන්දීය රජය උතුරු සෙන්ටිනලය බාහිර පුද්ගලයන්ට ප්‍රවේශ වීමට තහනම් කලාපයක් ලෙස නම් කොට තිබේ.

ඒ ගෝත්‍රික සංස්කෘතිය සහ සමාජ රටාවට එල්ල විය හැකි බලපෑම් වළක්වාලීම සඳහාය. මෙම ගෝත්‍රිකයන්ගේ ආරක්ෂාව සඳහා ඉන්දීය නාවික හමුදාව දූපත වටා මුහුදේ මුර සංචාරයේ යෙදෙන්නේද දූපතට නාවික සැතපුම් 5ක් අෑතිනි.

ඉන්දියානු වෙරළ තීරයට සැතපුම් 1,200ක් පමණ අෑත මුහුදේ පිහිටි අන්දමන් දූපත් සමූහයට අයත් උතුරු සෙන්ටිනල් දූපත පිහිටා ඇත්තේ අන්දමන් දූපත් සමූහයේ අග නගරය ලෙස සැලකෙන පෝට් බ්ලෙයාර් වෙරළ නගරයේ සිට කිලෝමීටර් 50ක් පමණ අෑත මුහුදේය. එහි විශාලත්වය වර්ග කිලෝමීටර් 5,967කි. වෙරළ තීරය හැරුණු විට මුළු දූපතම වැසී ඇත්තේ ගන වනාන්තරයෙනි. දූපත් වැසියන් මෙම දූපත හඳුන්වන්නේ ‘චියා ඩාක්වොක්වේයේ’ නමින්ය. ඔවුන් තම දිවි රැක ගන්නේ දඩයමින් සහ ධීවර කර්මාන්තයෙනි. ඔවුන්ගේ මවු බස වන සෙන්ටිනල් බස පිළිබඳ කිසිදු තොරතුරක් දැනගැනීමට නොහැකි වී ඇත්තේ ඔවුන් කිසි ලෙසකින් බාහිර ලෝකය සමඟ සබඳතා නොපවත්වන බැවිනි.

ගැමුණු රත්නායක

Author: admin