December 1, 2020

Kotuwa Paththare

Kotuwapaththare offical

යෝධ ඇලේ යට ගිය ඉතිහාස කතාව

1 min read

කලාවැව සිට තිසා වැව දක්‌වා වූ සැතපුම් 54ක්‌ පමණ වූ ධාතුසේන රජතුමන් විසින් නිර්මාණය කරන ලද යෝධ ඇළ සඳහා අදාළ මං පෙත හෙළි කර ගැනීමේ දී ගැබ්ගත් එළිච්චියක ඒ සඳහා යොදාගෙන ඇතැයි ජනප්‍රවාදයක්‌ පවතී. එළිච්චිය පෙරමුණේ දක්‌වාගෙන යමින් ඒ ඔස්‌සේ ඇළ ගොඩනඟා ඇති බව එමගින් කියෑවේ. මෙය ඉතා වැදගත් ජනප්‍රවාදයකි. ගැබ් බර එළිච්චියක බොහෝ විට ශීඝ්‍ර බෑවුම් ඔස්‌සේ ඉහළට ගොස්‌ පහළ නො යනු ඇත.

ඇය ගමන් ගනු ඇත්තේ දළ වශයෙන් සමෝච්ඡ රේඛා ඔස්‌සේ ය. එනම් මේ ජන ප්‍රවාදයෙන් වක්‍රව කියෑවෙන්නේ යෝධ ඇළ දළ වශයෙන් සමෝචඡ රේඛා ඔස්‌සේ පිහිටුවා ඇති බව ය. මෙහි ප්‍රථම සැපපුම් 17හි දී බැස්‌ම අඟල් 6ක්‌ ලෙස බ්‍රොහියර් මහතා සඳහන් කරන ජනප්‍රිය ප්‍රකාශයෙන් ඇත්තට ම අප ලබා ගත යුතු අදහස වන්නේ මේ “ඇළ” කොපමණ නිවැරැදිව සමෝචඡ රේඛාවන් ඔස්‌සේ නිමවා ඇත් ද යන්න ය. එසේ නොමැති ව මෙතරම් සියුම් ආනතියක්‌ සහිත ඇළක්‌ නිමැවීමක්‌ පිළිබඳව මෙමඟින් අදහස්‌ නො වේ. යෝධ ඇළ ඇත්තට ම දිගු වැවකි.

එය එක්‌ තැනක සිට තවත් තැනකට වේගයෙන් ජලය ප්‍රවාහනය කෙරුමට සෑදුණක්‌ නො වේ. එය නිමවා ඇත්තේ විශාල ප්‍රදේශයක්‌ පුරා ජලය අතර සබැඳියාවක්‌ ගොඩනැඟීමට ය. එහි විශාල ජල ධාරිතාවක්‌ ඇත. මේ දිගු වැව නිමැවෙන්නේ සමෝච්ඡ රේඛාව ඔස්‌සේ ය. එහි බැම්මක්‌ ඇත්තේ (ප්‍රධාන වශයෙන්) පහළ පැත්තේ පමණ ය. ඉහළ පැත්තේ ඇත්තේ ඉහළට ආනතියක්‌ සහිත සොබාවික භූමියයි. මේ භූමිය ඔස්‌සේ සහ එහි පිහිටි වැව් පද්ධති ඔස්‌සේ ඇළට ජලය එකතු වන අතර බැම්මෙන් පහළ පිහිටි වැව්වලට තැනින් තැන දී මේ ජලය බෙදා හැරේ. එසේ ම බැම්මේ තැනින් තැන වැඩිපුර ජලය පිටාර ගැලීම සඳහා වාන් ද ඇත.

යෝධ ඇළ ඔස්‌සේ ජලය ගලන්නේ පිරී ඉතිරී යන ආකාරයට ය. එනම් එහි යම් ප්‍රදේශයකට යම් ජල ප්‍රමාණයක්‌ එකතු වූ විට එම ප්‍රදේශයේ ජල මට්‌ටම ඉහළ යැමට ගැනෙන උත්සාහය සමග එහි ජල පීඩනය වැඩි වන අතර එම වැඩි වන පීඩනය නිසා ජලය අනෙක්‌ ප්‍රදේශවලට පැතිර යයි. මේ අනුව යෝධ ඇළේ ජලය දෙපසට ම ගමන් කළ හැකි ය. අපේ අතීත ජලාශ්‍රිත පද්ධති දෙස බැලූ විට පෙනී යන ඉතා වැදගත් දෙයක්‌ වන්නේ එහි දී එක්‌ ප්‍රදේශයක ඇති ජලය හෝ එක්‌ ප්‍රදේශයකට ලැබෙන ජලය ඉක්‌මනින් තවත් ප්‍රදේශයකට යෑවීමේ වුවමනාවක්‌ නොමැති ය යන්න ය. මෙසේ වන්නේ සැම තැනක ම ජල රඳවා ගැනීම් ඇති නිසා ය.

එනම් වැව් ඇති නිසා ය. මිනිසුත් තම කටයුතු සඳහා ගන්නේ වැව් ජලයයි. වර්ෂය පුරා අදාළ කාලවල දී වැවට ජලය ලැබේ. එම ජලය වැව වේගයෙන් ලැබිය යුතු නැත. අවශ්‍ය වන්නේ වසරක දී වැවෙන් ලබා ගන්නා ජලය ප්‍රමාණය වසර පුරා වැවට ලැබීම පමණි. එය වැවෙන් ජලය ලබා ගන්නා විට ම ලැබිය යුතු නැත. යෝධ ඇළෙන් කෙරෙන්නේ කලාවැවේ ජලය අනුරාධපුර තිසා වැවට ගෙන යැම ලෙස ගැනීම කිසිසේත් නිවැරැදි නැත. පෙර ද සඳහන් පරිදි මේ යෝධ ඇළෙන් කෙරෙන්නේ කලා වැව සහ තිසා වැව අතර පිහිටි සියලු ජල පද්ධතීන් එකට සබැඳීමකි. එමගින් වැඩි තැන සිට අඩු තැනට ජලය බෙදී යමින් එම ප්‍රදේශය එක ම ජල තලාවක්‌ කරයි. මේ ජල තලාව ඔස්‌සේ ජලය ගැලීමේ වේගය වැදගත් නැත.

ඇත්තට ම භූගත ජලය හැසිරෙන්නේ ද මේ ආකාරයට ය. ඒවා ගමන් කරන්නේ ද ඉතා සෙමිනි. එනම් වැඩි ප්‍රදේශයේ සිට අඩු ප්‍රදේශයට වන ලෙස ය. අපි ළිං සාදා තැනින් තැන දී මේ ජලය ප්‍රයෝජනයට ගනිමු. අප ළිංවලින් ජලය ලබා ගන්නා වේගයෙන් ඒවාට භූගත ජලය ඇදී එන්නේ නැත. එහෙත් ළිඳේ ධාරිතාව (පරිමාව) නිසා ළිඳ එකවර සිඳී යන්නේ නැත. ඒ වෙනුවට එහි ජල පරිමාව තාවකාලිකව අඩු වීමක්‌ පමණක්‌ සිදු වේ. නැවත සෙමින් සෙමින් භූගත ජලය ළිඳට වෑස්‌සෙන අතර ළිඳ පෙර තත්ත්වයට පත් වේ. පොළොව මතුපිට ජල පද්ධතීන්වල දී වැවෙන් යම් ආකාරයකට ඉටු වන්නේ එකී ළිඳෙහි කාර්යයයි.

අපේ සම්ප්‍රදාය තුළ ජල ප්‍රභවය සහ ජල භාවිතාව පැහැදිලිව වෙන් කළ නොහැකි ය. යෝධ ඇළ ජල පද්ධතියේ යම් තැනක ඇති ජලය ගෙන එහි ප්‍රභවය කොහි දැයි සෙවීම ඇත්තට ම නිෂ්ඵල කාර්යයකි. එහෙත් අද පැරැණි යෝධ ඇළ වෙනුවට ඇති ජය ගඟට ජලය නිකුත් කෙරෙන්නේ ප්‍රධාන වශයෙන් කලා වැවෙනි. මේ පද්ධතිය ආශ්‍රිතව පැවැති අනෙක්‌ කුඩා වැව් විශාල ප්‍රමාණයක්‌ අද නැත. මේ නිසා අද ඇත්තට ම ජය ගඟ යනු නූතන වර්ගයේ ඇළකි.

එයට ජලය කලා වැවෙන් විවිධ අවස්‌ථාවල දී පාලනයක්‌ සහිතව මුදා හැරේ. ඒ අනුව ගොවි බිම්වලට ජලය ලබා ගත යුතු ය. මෙය ජල නළවලින් නිවෙස්‌වලට ජලය ලබා ගැනීමට සමාන ය. එහෙත් එදා ගැමේ වැවට යෝධ ඇළෙන් අදාළ පරිදි ජලය ලැබෙන අතර එම වැවෙහි ජලය ගැමියනට ප්‍රයෝජනයට ගත හැකි ය. එහි දී කලාවැවේ ජල පාලනයක්‌ අවශ්‍ය ද නැත.

අපේ සම්ප්‍රදාය තුළ ජල ප්‍රභවය සහ ජල භාවිතාව පැහැදිලිව වෙන් කළ නොහැකි නම් එකල ඇතැම් අවස්‌ථාවල දී ජල බදු අය කළේ කෙසේ ද යන්න පිළිබඳව අප මෙහි දී ඉතා පරිස්‌සමෙන් විමසිය යුතු ය. මේ බද්ද වූ කලී යම් ජල පරිමාවක්‌ උදෙසා නව මිලක්‌ විය නොහැකි ය. එය යම් ජල පද්ධතියක්‌ භාවිතය පිණිස වන බද්දක්‌ විය යුතු ය. යම් ඉන්ධන (තෙල්) පරිමාවකට මිලක්‌ නියම කරන පරිද්දෙන් ජල පරිමාවට මිලක්‌ නියම කෙරුමක්‌ පිළිබඳව අපට අපේ සම්ප්‍රදාය තුළ සිතා ගත නොහැකි ය.

එහෙත් උදාහරණයක්‌ ලෙස යම් වැවක්‌ සහ අදාළ ඇළ මාර්ග පද්ධතිය භාවිතය වෙනුවෙන් යම් කාලයක්‌ සඳහා යම් බද්දක්‌ තිබුණා විය හැකි ය. කෙසේ වුවත් මේ පිළිබඳව තවදුරටත් සොයා බැලිය යුතු ය. මේ අතීත ජල බදු පිළිබඳව අප විමසිලිමත් විය යුත්තේ අද ජලයට මිලක්‌ නියම කෙරුමට උත්සාහ ගන්නා ඇතැම් ජල මුදලාලිලා ද මේ අතීත ජල බදු කතාව තම වාසියට යොදා ගන්නා නිසා ය.

යම් ජල පරිමාවක්‌ වෙනුවෙන් මිලක්‌ නියම කෙරුම සහ යම් ජල පද්ධතියක්‌ භාවිත කෙරුම වෙනුවෙන් බද්දක්‌ අය කර ගැනුම යනු දෙකකි. ජල පරිමාවකට මිලක්‌ නියම කෙරුමේ දී එම ජල පරිමාව සමස්‌ත ජලය ආශ්‍රිත පද්ධතියෙන් මිදේ. තෙල් සඳහා නම් මෙවැන්නක්‌ කළ හැකි ය. එහෙත් ජලය යනු අප පරිසරයේ ජීව රුධිරයයි. එහි යම් පරිමාවක්‌ වෙන් කර ගෙන කටයුතු කළ නොහැකි ය. මිනිසාට කළ හැක්‌කේ එම ජල පද්ධතියේ කොටස්‌ භාවිතය පමණි. එම භාවිතය සඳහා බද්දක්‌ අය කර ගැනීම මගින් එම පද්ධතියේ නඩත්තුව හෝ වැඩි දියුණුව සඳහා එම බදු මුදල් යොදා ගත හැකි ය.

සාමාන්‍යයෙන් සොබාවික ජල ධරා ගමන් කරන්නේ සමෝච්ඡ රේඛා ඔස්‌සේ නො වේ. ඒවා ගමන් කරන්නේ සමෝච්ඡ රේඛාවලට දළ වශයෙන් ලම්බකව නිම්න ඔස්‌සේ ය. යෝධ ඇළ සමෝච්ඡ රේඛා ඔස්‌සේ පිහිටීම නිසා ඒ නිම්න ඔස්‌සේ එන සියලු ජල ධාරා මීට එකතු වේ. ඊට පසු ඒවා අවශ්‍ය පරිදි අවශ්‍ය ස්‌ථානවලට යොමු කළ හැකි ය. එසේ ම නිම්න ඔස්‌සේ ගලන ජලයට මෙන් නො ව සමෝච්ඡ පිහිටීමේ ඇති ජලයට භූගත ජලය ද වර්ධනය කළ හැකි ය. කඳුකර ප්‍රදේශවල සමෝච්ඡ රේඛා ඔස්‌සේ වැටි සාදා ඉහළින් රූරා එන ජල ධාරා ඒවායේ රඳවාගෙන ජලය සංචිත කරනු ලබන්නේ ද මෙපරිදි ම ය.

සාමාන්‍යයෙන් වැව් එල්ලංගා (Cascade systems) පද්ධති පිහිටන්නේ නිම්න ඔස්‌සේ ය. මෙසේ නිම්න ඔස්‌සේ පිහිටන එල්ලංගා පද්ධති එනම් යෝධ ඇළ පිහිටන සමෝච්ඡ රේඛාව ඉහළ සහ පහළ පිහිටන එල්ලංගා පද්ධති මේ යෝධ ඇළ නිසා ඒ හා බද්ධ වේ. යෝධ ඇළට ඉහළ එල්ලංගාවල වැඩිපුර ජලය යෝධ ඇළ ඔස්‌සේ පහළ පිහිටි එල්ලංගාවලට යෑවිය හැකි ය. එනම් සෘජුව පහළ පිහිටි එල්ලංගාවලට පමණක්‌ නො ව තිරස්‌ව එහායින් පිහිටින එල්ලංගාවලට ද ලබා දිය හැකි ය.

නිම්න ඔස්‌සේ පහළට ගලන ජලය සමෝච්ඡ රේඛාව ඔස්‌සේ පිහිටි යෝධ ඇළ නිසා කදිමට තිරස්‌ ව විහිදී යයි. එනම් ජලය වැඩි නිම්නවල සිට ජලය අඩු නිම්නවලට ජලය බෙදී යයි. මේ අනුව ජලය වැඩි තැන්වල සිට වැඩිපුර ජලය යාබදට ලබා දීමේ ක්‍රමය අනුව යෝධ ඇළ ක්‍රමයෙන් ඉදිරියට ගොඩනැඟිය හැකි ය. සමස්‌ත යෝධ ඇළ ම එකවර සැලසුම් කළ යුතු නැත. එළිච්චිය ගේ ජන ප්‍රවාදයෙන් කියෑවෙන්නේ ද එයයි. සමස්‌ත පද්ධතිය ම මුලින් ම සැලසුම් කොට තිබිණි නම් එළිච්චිය ගමන් ගන්නා මඟ අනුව එය නිමැවිය නොහැකි ය.

කඩිනම් මහවැලිය යටතේ යෝධ ඇළ දැලේ තිබූ වැව් පද්ධති බොහොමයක්‌ විනාශ කළ අතර ඒවා කුඹුරු බවට හැරවිණි. යෝධ ඇළ නව ජය ගඟ ලෙස නූතන ඇළක්‌ බවට පත් විය. එය සමෝච්ඡ රේඛා ඔස්‌සේ නො ව කෙටි ම මඟ ඔස්‌සේ නිමැවිණි. එසේ ම එය ප්‍රධාන වශයෙන් කලාවැවෙන් කුඹුරුවලට ජලය සපයන ඇල (නළය) විය. මේ සමග ම ප්‍රදේශයේ ජල කළමනාකරණයේ මහ අවුලක්‌ ඇති විය. මේ නොබෝදා ඇති වූ නියං තත්ත්වය එතරම් බරපතළ වූයේ ද, යම් යම් උදවියට තම අනිසි කටයුතු සඳහා ගොවිතැනට හොරෙන් ජලය ගෙන යාමට හැකි වූයේ ද මේ නිසා ය.

Copyright © All rights reserved. | Newsphere by AF themes.