December 1, 2020

Kotuwa Paththare

Kotuwapaththare offical

රන්මසු උයනේ විශ්ව චක්‍රය

1 min read

ඔහු නොඉවසිල්ලෙන් පෙරමඟ බලා සිටින්නට ඇත. ඒ මහා රාජකීය මංගල උද්‍යානයේ රන් මත්ස්‍යයෝ ප්‍රේමයේ රස රහස සැඟ වූ බව නම් නිසැක ය. ඕ චණ්ඩාල කුලයේ රූපවන්තිය අශෝක මාලා ය. හේ අනුරාධපුර රාජධානියේ රජු දුටුගැමුණු රජු ගේ පුත්‍ර සාලිය කුමාරායා ය.

චණ්ඩාල කුලයේ ගම් මැදි කොතෙකුත් තිබෙන්නට ඇති නමුත්, ඉතිහාසය සාක්ෂි දරණ වෙල්ලාලගම පිහිටියේ අනුරාධපුර රාජධානියේ වෙස්සගිරිය විහාරය හා දක්ෂිණ විහාරය අත ර ය. විද්වත් මතධාරීන්ට අනුව මේ රාජකීය මංගල උද්‍යානය මෙගම මායිම දක්වා දිවෙන්න ට ඇත. මහා වංසය සඳහන් කරන ආකාරයට, වෙල්ලාලගම චණ්ඩාල කුලයට අයත් ය. ඉසුරුමුණි පෙම් යුවල සාලිය අශෝක මාලා බව මතයක් ව නැඟි එන්නේ, එකී ප්‍රේමණීය කැටයම රන්මසු උයනෙන් සොයා ගත් නිසා ය. රන් මසු උයන හා බැඳී ගිය වෘතාන්ත සේ ම , තවත් ඇස ගිය හා වසර ගණනාවක් පුරා දනන්ගේ කුතුහලය ඇවිස්සූ රන් මසු උයනේ ම තවත් තැනෙකි විශ්ව චක්‍රය.

ඉසුරුමුණියත් , තිසා වැවත් අතර පිහිටි මෙරට උද්භිද උද්‍යාන කලාවේ ප්‍රතිමූර්තියක් සේ නැඟි හිඳින රන්මසු උයනෙහි, පොකුණුවල රන් මත්ස්‍යයන් සිටි හෙයින්, රන් මසු උයන වූ බව කියැවේ. සිව් වැනි මිහිඳු රජුගේ වෙස්සගිරි සෙල්ලිපිය ඊට සාක්ෂි සපය යි. රාජකීයයන්ගේ සුඛ විහරණය සඳහා වන් අක්කර හතලිහක් වූ මේ මනරම් උද්‍යානයේ දක්නා ලැබෙන විශ්ව චක්‍රය, ඇතැමුන් හඳුන්වන්නේ සක්වල චක්‍රය, නැතහොත් ‘භව චක්‍රය’ ලෙසිනි. වර්ග අඩි එකක් හෝ දෙකක ප්‍රමාණයෙන් යුතු මේ චක්‍රය මධ්‍යයේ, සම කේන්ද්‍රික වළලු හතකින් යුක්ත වෙයි.

එච්. සී.පී. බෙල් මහතා මේ පිළිබඳ සඳහන් කර ඇත්තේ, විශ්වයේ චිත්‍රයක් ලෙස ය. මහාචාර්ය බණ්ඩාරනායකයන් බෙල් ගේ මතයේ ම පිහිටා සිටිද්දී ,වෙනත් ග්‍රහ ලොවක ජීවින් හා සම්බන්ධකම් පවත්වන්නට මේ විශ්ව චක්‍රය (Star gate) භාවිත කරන්නට ඇතැයි ඇතැමකුගේ මතය විය. එහෙත්, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්, මහාචාර්ය සෙනරත් දිසානායකයන් මේ පිළිබඳ කළ පර්යේෂණය, එකී මතය අභියෝගයට ලක් කළේ ය. රන්මසු උයනේ නොගැඹුරු ලෙන වූ අංක 34 ලෙන් බිත මත කොටා ඇති විවිධ සංකේත රටාවලින්, තිරස් හා සිරස් රේඛාවලින් යුතු වූ මේ චක්‍රය, හුදු භාවනා කිරීම උදෙසා යොදා ගන්නට ඇතැයි එතුමා ප්‍රමාණවත් සාක්ෂි සහිතව පෙන්වා දෙයි.

ගල් මුහුණතෙහි විශ්කම්භය මීටර් 1.80ක් පමණ වූ වෘත්තයක් තුළ නොගැඹුරුව කොටා ඇති විශ්ව චක්‍රයේ විවිධ සංකේත, හැඩතල දැකිය හැකි වෙයි. මේ චක්‍රයේ පිටත රෝදයෙහි වමේ සිට දකුණට පීනා යන මත්ස්‍යයන් අටක් හෝ ඊට වැඩි ගණනක් වන අතර, හක් බෙල්ලන්, කැස්බෑවන්, ඉබ්බන් වැනි ජලජ සත්ත්වයන් විය හැකි යැයි කියැ වේ.

මේ විශ්ව චක්‍රය පිළිබඳ පර්යේෂණ වාර්තා අල්ප වුව, මහාචාර්ය සෙනරත් දිසානායකයන් එහි ඌණ පුරණය කළේ ඔහුට මේ ගවේෂණයේ දී අපූරු සෙල්ලිපියක් ලැබීමත් සමඟ ය.

එසේ ම, හුදු මහජන මතය සේ ම, විද්වත් මතය ලෙස ගැනුණේ මේ උද්‍යානය, අට වැනි සියවසෙන් පසු ඇති වූවක් බව ය. එහෙත්, චක්‍රය සමඟ සොයා ගත් අපූරු සෙල්ලිපියෙන් එකී කාල වකවානුව තවත් ඈතට ඇදී ගියේ, එය කිස්තු පූර්ව 3 ත් , ක්‍රිස්තු වර්ෂ 1ත් අතර වූවක් වන නිසා ය.

එනිසා දේවානම් පියතිස්ස රජ දවසේ දී මෙය ඇති වන්නට ඇතැයි මහාචාර්යවරයා සඳහන් කරයි. ඉතා කුඩා මේ අපූරු සෙල්ලියේ සඳහන්ව ඇත්තේ “පනති පනස“ කියා ය. මහාචාර්ය සෙනරත් දිසානායකයන්ට අනුව එහි “ පන“ යන්න ප්‍රාණි ලෙස අර්ථ ගැන්විය හැකි අතර, “තිපනස “යන්න “පනස් තුන යන අරුත් දෙයි. මෙකී පනස් තුන කවරේ ද යත්, චක්‍රයේ පිටතම රථ රෝදයේ සත්ව රූප විස්සක් වන අතර, ඊට මැදි වූ වෘත්තයේ මැද කොටසේ සංකේත තිස් තුනෙහි එකතුව බව කියැවේ.

එනිසා, කිසිවකුගේ ඇස නොගැටුණු මේ සෙල්ලිපිය හා චක්‍රය අහඹුවක් නොවන බව නිසැක ය. එහෙත් මෙකී 53 ක් වූ ප්‍රාණින් කවරේ ද යන්න ගැටලුවකි. මාර්ටින් වික්‍රමසිංහයෝ මේ චක්‍රය හැඳින්වූයේ , තන්ත්‍රයානිකයන්ගේ යන්ත්‍රයක් ලෙසිනි. ඒ අදහස යම් සාම්‍යයක් පෙන්වන බව මහාචාර්ය සෙනරත් දිසානායකයන් පවසන්නේ, මේ චක්‍රය ඉදිරියෙන් වන ගල් තලාවේ හිඳ ගැනීමට පහසු ආසන තුනක් ඇති නිසා ය.

එහි හිඳ ගත් කල, ප්‍රථමයෙන් සම්මුඛ වන්නේ මෙකී චක්‍රයයි. එසේ ම, බෙහෙවින් සන්සුන් වූ මනසක් නොමැති කල, මේ චක්‍රයේ සංකේත ගැනීම කළ නොහැකි බව ද ඔහුගේ අදහස ය. තව දුරටත් යම් බඳු භාවනා ක්‍රමයක් ප්‍රගුණ කල ස්ථානයක් ලෙසත්, මේ චක්‍රය ඊට අධාරකයක් වී ඇති බවත් පර්යේෂක මහාචාර්යවරුන්ගේ අදහස ය.

එහෙත් අලංකාර පොකුණු හා තට්ටු තුනක් සිටින සේ තැනූ පොකුණු ගෘහයන්ගෙන් සමන්විත රන්මසු උයනෙහි වන මේ චක්‍රය පිළිබඳ පොදු මතය වන්නේ, සක්වල චක්‍රයක් වන බව ය. ලෝකයේ එවැනි චක්‍ර වමේ සිට දකුණට පිහිටා සිටීමත්, බොහෝ චක්‍රවල මෙවැනි සංකේත දක්නට ලැබීමත්, කුතුහලය ඇති මිනිසුන්ගේ ගවේෂණාත්මක ඉව අවුස්සන්නට සමත් බව නිසැක ය.

Copyright © All rights reserved. | Newsphere by AF themes.