December 1, 2020

Kotuwa Paththare

Kotuwapaththare offical

වස විස නැති තක්කාලි සෝස් හදන විදිය

1 min read

කෙනෙකුට තක්කාලි සෝස් කන එක පිළිබඳව විවිධ අදහස් මතිමතාන්තර තියෙන්න පුළුවන්. තමන්ට තියෙන්නේ ඒ පිළිබඳව යහපත් ආකල්පයක් නෙවෙයි නම් ඇත්තටම ඔබ හරි. ඔබට තියෙන්නේ යහපත් ආකල්පයක් නම් ඇත්තටම එහෙම හිතන ඔබත් හරි. තක්කාලි වල තියෙන, කුළුබඩු වල තියෙන පෝෂණ ගුණය කිසිම වස විසක් නැතිව ඒ විදිහටම අපේ සිරුරට ලැබෙනවා නම් ඒ තක්කාලි සෝස් එකේ ඇති වැරැද්දක් නෑ. මේ කියන්නේ ඔබට සෝස් නිතරම කන්න කියන එක නෙවෙයි. වරදවා වටහාගන්න එපා. මේ කියන්නේ අපි අද කියලා දෙන සෝස් එක හදාගෙන ඔය ඇබ්බැහි වෙලා ඉන්න කඩෙන් ගේන වස විසෙන් පිරුණු සෝස් බෝතලයට සමුදෙන්න කියන එකයි.

මේ සෝස් වල ගුණ වගේම අගුණත් තියෙනවා. අවම වශයෙන් සතියකට දෙවරක්වත් තක්කාලි සෝස් පරිභෝජනය කරන පුරස්ථි ග්‍රන්ථි පිළිකා හැදුණු පිරිමින් වැඩි කලක් ජීවත් වූ බව බටහිර විද්‍යාඥයින් පර්‍යේෂණ මඟින් තහවුරු කරගෙන තිබෙනවා. ඒ විතරක් නෙවෙයි මේ තක්කාලි සෝස් වලට යොදන සියලු කුළුබඩු වල ගුණයත් ඔබේ සිරුරට එලෙසින්ම නොඅඩුව ලැබෙනවා. මේ සෝස් වල සීනි සහ ලුණු යම් ප්‍රමාණයක් අන්තර්ගත නිසා අධි රුධිර පීඩනයෙන් පෙලෙන අයට, හෘද රෝගීන්ට, දියවැඩියා රෝගීන්ට එතරම් මෙම සෝස් වර්ග සුදුසු වන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි අර්ශස් වැනි රෝග වලින් පෙලන අයටත් සෝස් වර්ග පරිභෝජනය කරන්න එපා කියලයි ආයුර්වේදය තුළදී නම් කියන්නේ.

ඒත් දෙයියනේ කියලා කිසිම ලෙඩක් දුකක් නැතිව තවමත් නිරෝගීව ජීවත් වන ඔබ පුළුවන් නම් කඩෙන් ගේන රසකාරක, වර්ණකාරක, සෝඩියම් බෙන්සොඒට් වැනි කල්තබා ගැනීමේ ද්‍රව්‍ය යොදා ඇති වස වලින් පිරුණ සෝස් බෝතලයට අද ඉඳන් සමුදෙන්න. ඒ වෙනුවට අපේ ශ්‍රී ලාංකික රසය මුසුවුන කිසිම වසක් විසක් නොමැති ගුණයෙන් පිරුණු මෙන්න මේ සෝස් එක ඔබේ ජීවිතයට ආදේශ කරගන්න. ගෙදර වවාගත්ත තක්කාලි ගස් ටිකේ වැඩිපුර හැදෙන ගෙඩි ටික ඉවත දමන්නෙ නැතිව මේ විදිහට ගුණවත් සෝස් එකක් බවට පරිවර්තනය කරගන්න.

තක්කාලි සෝස් එක හදාගැනීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය :-

  • හොඳට ඉදුණු දීප්තිමත් තද රතු පැහැයේ තක්කාලි 600g ක්
  • තලාගත් සුදුළූණු බික් 07 ක්
  • ලියාගත් ලොකුළූණු ගෙඩියක්
  • සීනි තේ හැඳි 06 ක්
  • ලුණු
  • විනාකිරි කෝප්ප 1/2 ක්

පහේ බෑග් එක සඳහා අවශ්‍ය ද්‍රව්‍ය :-

  • කාරාබුනැටි 06 ක්
  • කරදමුංගු කරල් 06 ක්
  • අඟල් 02 ක අලුත් කුරුඳු පොතු කැබැල්ලක්
  • සූදුරු කුඩු තේ හැඳි 01 ක්
  • මාදුරු කුඩු තේ හැඳි 01 ක්
  • ගම්මිරිස් ඇට තේ හැඳි 02 ක්

සාදාගන්නා ආකාරය :-තක්කාලි හතරට පලාගන්න.

ලූණු ලියාගන්න. සුදුළූණු තරමක් තලාගන්න. දැන් මේ සියල්ල ප්‍රෙෂර් කුකර් එකකට දාන්න. ප්‍රෙෂර් කුෂර් එකක් නැත්නම් හොඳින් සීල්වෙන ලෙස වැසිය හැකි සාස්පානකට දාන්න.

වතුර නොදමා පියන අරින්නේ නැතුව මේ තක්කාලි, ළූණු ටික පැය භාගයක් මද ගින්නේ පිසගන්න. පියන අරින්න එපා. පැය භාගයකටත් පසුවත් පියන අරින්න එපා. ලිප වසා තවත් පැය කාලක් නිවෙනතුරු තියන්න.

නිවුනාට පසුව ගෑරුප්පුවකින් තක්කාලි පොතු පෙනෙන්න තිබෙනවා නම් ඒවා ඉවත්කරන්න. දැන් තක්කාලි පේස්ට් එක බ්ලෙන්ඩරයකට දාලා හොඳට මෘදු වෙන්න බ්ලෙන්ඩර් කරගන්න. පසුව පෙරණයකින් පෙරාගන්න. එතනදි තක්කාලි පොතු තියෙනවා නම් ඉවත්වෙනවා. ඔයාට සිල්ක් තක්කාලි පේට්ට් එකක් ලැබෙනවා.

දැන් මේ තක්කාලි පේස්ට් එක අලුත් සාස්පානකට දාන්න.

දැන් එයට ලුණු, විනාකිරි සහ සීනි දමන්න. ලී හැන්දකින් හොඳට මිශ්‍ර කරන්න.

එයට දැන් අපි පහේ බෑග් එක යටතේ දමා තිබූ ද්‍රව්‍ය කපු රෙදි පොට්ටනියක දමා සෝස් එකට දමාගන්න. දැන් ලිපේ තබා රත්කරන්න. හොඳට තක්කාලි පේස්ට් එක නටනතුරු ඉදවන්න. අතරතුර හැඳිගාන්න.

විනාඩි 20 ක් පමණ හොඳින් නැටවුණු පසුව ලිපේ දැල්ල අඩුම කර තවත් විනාඩි 20 ක් මද ගින්නේ පිසින්න.

විනාඩි 20 කට පසුව ලුණු සහ සීනි ඇති ද කියා බලන්න.

පසුව මේ තක්කාලි සෝස් එක බාගෙන හොඳින් මිශ්‍ර කර බෝතලයක දමා ශීතකරණයේ දමා පාවිච්චියට ගන්න.

Copyright © All rights reserved. | Newsphere by AF themes.