December 1, 2020

Kotuwa Paththare

Kotuwapaththare offical

වාලච්චේන කඩදාසි කම්හලේ ඉතිහාස කතාව

1 min read

මීට දශක හතරකට පමණ පෙර “වාලච්චේන” යන නම ඇසුණු සැනින් බොහෝ දෙනෙකුගේ මතකයට නැගුනේ එහි පිහිටා තිබුණු කඩදාසි කර්මාන්ත ශාලාව යි. නමුත් 90 දශකයේ දී වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව වසා දැමීමත් සමගම එය බොහෝ දෙනෙකුගේ මතකයෙන් ගිලිහී ගොස් තිබුණා. දිගු කලක් අක්‍රීය තත්ත්වයේ තිබුණු එම කඩදාසි කම්හල පසුගිය මැයි මාසයේ යළි විවෘත වුණා.

1947 වසරේ බලයට පත් වුණු එක්සත් ජාතික පක්ෂ රජයේ කර්මාන්ත අමාත්‍යවරයා ලෙස පත් වුණේ ජෝර්ජ් ඊ. ද සිල්වා යි. නමුත් 1948 වසරේ දී ඔහුගේ අමාත්‍යධුරය ජී.ජී. පොන්නම්බලම්ට හිමි වුණා. ඉන් පසුව අඛණ්ඩව එම අමාත්‍යධුරය දැරූ ජී.ජී. පොන්නම්බලම් 1951 වසරේ වාලච්චේන කඩදාසි කම්හල ආරම්භ කිරීම සඳහා මුල්ගල තැබුවා. එදා නැගෙනහිර ජර්මානු රජයේ ආධාරයෙන් එම කම්හල ඉදිකිරීම සිදු වුණා. 1952 වසරේ පැවති මහා මැතිවරණයෙන් පසුව යළි එක්සත් ජාතික පක්ෂ රජයක් බලයට පත් වුණා. එම රජයේ ද කර්මාන්ත අමාත්‍යධුරය ජී.ජී. පොන්නම්බලම්ට හිමි වුණා.

එනිසා ඊට පෙර ඔහු මූලිකත්වය ගෙන ආරම්භ කළ වාලච්චේන කඩදාසි කම්හලේ ඉදිකිරීම් කටයුතු ඩඩ්ලි සේනානායක රජය යටතේ ද සාර්ථකව ක්‍රියාත්මක වුණා. 1953 වසරේ සිදු වුණු හර්තාලයෙන් පසුව ජෝන් කොතලාවල අගමැතිධුරයට පත් වුණත් ජී.ජී. පොන්නම්බලම්ගේ අමාත්‍යධුරය වෙනස් වුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් වශයෙන් අඛණ්ඩව සිය වැඩ කොටස ඉටුකළ පොන්නම්බලම් අමාත්‍යවරයා 1956 වසර ආරම්භ වන විට වාලච්චේන කඩදාසි කම්හලේ ඉදිකිරීම්වල අවසන් අදියරට එළඹ තිබුණා. දිගු කලක් බොහෝ දෙනෙකු කළ කැපකිරීම් මල්ඵල නංවමින් 1956 වසරේ දී වාලච්චේන කඩදාසි කම්හල ස්ථාපනය කරනු ලැබුවේ “නැගෙනහිර කඩදාසි සංයුක්ත මණ්ඩලය” නමින්.

නැගෙනහිර ජර්මනියෙන් ලැබුණු ඉහළම ප්‍රමිතියකින් යුක්ත වුණු යන්ත්‍ර සූත්‍රවලින් මෙම කම්හලේ නිෂ්පාදන කටයුතු සිදු වුණා. එම යුගයේ මෙම කම්හලේ කඩදාසි නිෂ්පාදනය සඳහා මූලික අමුද්‍රව්‍යය ලෙසින් පිදුරු භාවිතා කරනු ලැබුවා. ඒ සඳහා අවශ්‍ය වුණු පිදුරු අක්කරෙයිපත්තු, ඔළුවිල්, සමන්තුරේ, ඔට්ටමාවඩි, අම්පාර, තොප්පිගල වැනි ප්‍රදේශවල පිහිටුවා තිබුණු පිදුරු එකතු කිරීමේ මධ්‍යස්ථානයන්වලින් සපයාගත්තා. එසේම පොළොන්නරුව, ත්‍රිකුණාමලය, මඩකලපුව වැනි ප්‍රදේශයන්වල පිහිටා තිබුණු ගොවි බිම්වලින් කඩදාසි කම්හලට අවශ්‍ය වුණු පිදුරු ස්වේච්ඡාවෙන්ම සැපයූ බව සඳහන්.

එම අවධියේ දී අක්කර 525ක බිමකට හිමිකම් කී කඩදාසි සමාගම ඉන් අක්කර සියයක් පමණ යොදාගෙන කර්මාන්තශාලා ගොඩනැගිලි සංකීර්ණය ඉදිකර තිබුණා. ඒ අනුව වාලච්චේන කඩදාසි කම්හල් භූමිය තුළ යන්ත්‍රාගාර දෙකක්, විද්‍යාගාරයක්, වැඩබිමක්, ගබඩා සංකීර්ණයක්, කාර්යාල කිහිපයක්, සහ සේවක නිවාස සංකීර්ණයක් ද පිහිටා තිබුණා. විශාල සේවක පිරිසක් රාජකාරියෙහි නිරතව සිටි කම්හල් භූමිය තුළ නිල නිවාසයන් 25ක් ඉදිකර තිබුණා. එසේම එහි රාජකාරි කළ සේවකයන් ප්‍රවාහනය කිරීම සඳහා බස් රථ සේවාවක් පවා එම යුගයේ දී ක්‍රියාත්මක වුණා.

මෙම කඩදාසි කම්හල ආරම්භ වුණු යුගයේ එක් යන්ත්‍ර­යක කඩ­දාසි නිෂ්පා­දන ධාරි­තාව දින­කට මෙට්‍රි­ක්ටොන් 12.5ක් ලෙසින් සටහන් වුණා. නමුත් 1962 වසර වන විට එම අගය මෙට්‍රික් ටොන් 35 දක්වා වර්ධනය වී තිබුණා. ඉන් වසර 10කට පසුව, 1972 වර්ෂයේ දී ඝන කඩ­දාසි යන්ත්‍රය මෙම කර්මාන්ත ශාලා­වට හඳුන්වා දුන්නා. එම යන්ත්‍රයක ධාරි­තාව දින­කට මෙට්‍රි­ක්ටොන් 40ක් ලෙසින් සටහන් වුණත් එම යන්ත්‍රයන් දෙකම එක­වර ක්‍රියා­ත්මක කර දින­කට නිෂ්පා­ද­නය කිරීමට හැකිව තිබුණේ කඩදාසි මෙට්‍රික් ටොන් 60ක් පමණ යි. කඩදාසි සේම ඉහළ ප්‍රමිතියකින් යුත් ෆයිල් කවර ද එම අවධියේ මෙම කඩදාසි කම්හල තුළ නිෂ්පාදනය කරනු ලැබුවා.

1956 වසරේ ආරම්භ වුණු කඩදාසි කම්හල ක්‍රමයෙන් දියුණු වන්නට වුණා. එනිසා 90 දශකය ආරම්භ වන විට 3500ක පමණ පිරිසක් සේවයෙහි නිරත වුණු වාලච්චේන කඩදාසි කම්හල ඉතාමත් කාර්යක්ෂමව ක්‍රියාත්මක වෙමින් තිබුණා. 1990-1993 කාල සීමාව මෙම කම්හලේ ස්වර්ණමය යුගය ලෙසින් සටහන් වුණා. එසේම 1993 වසරේ දී ඵලදායිතා සම්මානය වාලච්චේන කඩදාසි කම්හලට ලැබුණා.

1977 වසරේ දී බලයට පත් වුණු එක්සත් ජාතික පක්ෂ රජය විවෘත ආර්ථික ක්‍රමය අප රටට හඳුන්වා දෙනු ලැබුවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙරට තිබුණු වෙළඳ ඒකාධිකාරය ක්‍රමයෙන් බිඳ වැටුණා. ඉන් අනතුරුව ඉතාමත් අඩු මිලකට ආනයනික කඩදාසි වෙළඳපොලට පැමිණීමත් සමග මෙම කම්හලේ නිෂ්පාදන අලෙවිය පහත වැටුණා. එම තත්ත්වය සමනය කිරීම සඳහා රජය ආනයනික කඩදාසි සඳහා 35%ක බද්දක් පනවනු ලැබුවා. නමුත් 1994 වසරේ ඉන්දීය රජය සමග අත්සන් කළ වෙළෙඳ ගිවි­සු­මෙන් පසුව ඉහත බදු මුදල 5% දක්වා අඩු කරනු ලැබුවා. එම නිසා යළි ආනයනික කඩදාසි දේශීය වෙළඳපොළ තුළ වඩාත් ජනප්‍රිය වන්නට වුණා. එහි දී ආනයනික කඩදාසි සමග තරග කිරීම සඳහා කඩ­දාසි කර්මාන්ත ශාලා නවී­ක­ර­ණය කිරීම අවශ්‍ය වුණා. ඒ අනුව වාල­ච්චේන කඩ­දාසි කම්හලේ යන්ත්‍ර සූත්‍ර නවී­ක­ර­ණය සහ සංව­ර්ධන කට­යුතු සඳහා ආයෝ­ජ­නය කිරී­ම­ට පෞද්ග­ලික වෙළෙ­ඳුන්ගේ මැදි­හත් වීම අනි­වාර්ය වුණා. එම තත්ත්වය දිගින් දිගටම පැවතුණු නිසා මෙම කඩදාසි කම්හල පාඩු ලබන තත්ත්වයට පත් වුණා. අවසානයේ සේවකයන්ගේ වැටුප් පවා ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගත වුණු නිසා කම්හල වසා දමනු ලැබුවා.

2020 වසරේ ජනවාරි මාසයේ දී වාලච්චේන කඩදාසි සමාගමේ සභාපතිවරයා, එවකට කර්මාන්ත ඇමතිවරයා, නාවික, යුද හමුදා, සහ රාජ්‍ය ඉන්ජි­නේරු සංස්ථාවේ ඉංජි­නේ­රු­වන් ඇතුළු පිරිසක් වාලච්චේන කඩදාසි කම්හල් බිමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. නමුත් ඒ වන විට කඩදාසි කම්හල් යළි ප්‍රයෝජනයට ගත නොහැකි ආකාරයට විනාශ වී තිබුණා. එම අවස්ථාවේ දී මෙම කම්හල යළි පිළිසකර කිරීමේ දැවැන්ත අභියෝගය භාරගත් සභාපතිවරයා ඒ වෙනුවෙන් විශේෂඥයන්ගේ සහාය ලබාගැනීමට තීරණය කළා.

මෙම කර්මාන්තශාලාවේ බොයිලේරුව පිළිසකර නොකර යන්ත්‍රය පණගැන්විය නොහැකි නිසා මුලින්ම බොයිලේරුව පිළිසකර කිරීම ආරම්භ කළා. බොයිලේරුවන් අලුතින් මිල දී ගැනීම සඳහා මිලියන 25ක පමණ විශාල මුදලක් අවශ්‍ය වුණු නිසා ඉන්දීය විශේ­ෂ­ඥ­ය­න්‌ හා ජාතික ඉජි­නේරු සංස්ථාවේ පිරි­සක් සමග අධ්‍ය­ය­නය කර එය ඉතා සුළු මුද­ල­කින් යථා තත්ත්ව­යට පත් කළා. එසේම බොයි­ලේ­රු­වට දරා­ගත හැකි පීඩ­නය ගණ­නය කළ ඔවුන් අවශ්‍ය ප්‍රමා­ණ­යට වඩා දෙගු­ණ­යක පීඩ­න­යක් මේ බොයි­ලේ­රු­වට දරා­ගත හැකි බව ප්‍රත්‍යක්ෂ කරගත්තා. එතෙක් බොයිලේරුවට ඉන්ධන ලෙස භාවිතා කර තිබුණේ දහයියා යි. නමුත් මොවුන් එය සකස් කළේ දර ඉන්ධන ලෙස යොදාගත හැකිවන පරිදි යි. ඉන් පසුව කඩදාසි යන්ත්‍ර පිළිබඳව මනා දැනුමක් තිබුණු ඉන්දියානු විශේෂඥයෙකු සහ ඉංජිනේරුවන් පිරිසකගේ සහාය ලබාගෙන සම්පූර්ණ මැෂිමම අලු­ත්වැ­ඩියා නොකර, අඩු විය­ද­ම­කින් ක්‍රියා­ත්මක කළ හැකි කොටස මුලින්ම පණ­ග­න්වන්න තීරණය කළා. එලෙස විවිධ පාර්ශවයන් එක් වී මාස කිහිපයක් පුරාවට ගෙන ගිය වැඩපිළිවෙළ නිසා වාලච්චේන කඩදාසි කම්හල යළි ක්‍රියාත්මක කළ හැකි තත්ත්වයට පත් වුණා.

පසුගිය මැයි මාසයේ 30 වැනිදා වාලච්චේන කඩදාසි කම්හලේ ප්‍රධාන යන්ත්‍රය යළි ක්‍රියාත්මක කරමින් පර්යේෂණ මට්ටමේ කඩදාසි නිෂ්පාදනය ආරම්භ කරනු ලැබුවා. අනාගතයේ දී කර්මාන්තශාලාවේ තිබෙන සෙසු යන්ත්‍ර ද ක්‍රියාත්මක කරමින් වාලච්චේන කඩදාසි කම්හලට යළි සම්පූර්ණයෙන්ම පණ ලබාදීම අදාළ බළධාරීන්ගේ අපේක්ෂාව යි. විනාශ වෙමින් තිබුණු දැවැන්ත කර්මාන්තශාලාවක් යළි ක්‍රියාකාරී තත්ත්වයකට පත් කිරීම අගය කළ යුතු ක්‍රියාවක්. එම දැවැන්ත කාර්යභාරය සිදුකළ පිරිසට ලැබෙන මීළඟ අභියෝගය වන්නේ මෙය ලාභ ලබන තත්ත්වයට පත්කර, එමඟින් රටේ ආර්ථිකය සවිමත් කිරීමට ශක්තියක් ලබාදීම යි.

Copyright © All rights reserved. | Newsphere by AF themes.