November 30, 2020

Kotuwa Paththare

Kotuwapaththare offical

වැනිලා වගා කරන්න කලින් දැනගත යුතු කරුණු

1 min read

කුළුබඩු ලොවේ රැජින ලෙස සැලකෙන වැනිලා දෙවන වන්නේ සැෆ්රන් වලට පමණි. ලංකාවේ ඉහලම වටිනා කමක් සහිත අපනයන භෝගය ලෙස වැනිලා පත් වී හමාරය.
මීට වසර පහකට හයකට පෙර කිලෝ එකක් රුපියල් 500 ක් ව තිබූ වැනිලා අද රුපියල් 6000 – 7000 සීමාව ඉක්මවා තිබේ.

ලොව වැනිලා පරිභෝජනයට සරිලන ඉල්ලුමක් කිසි දා සැපයිය නොහැකි නිසා වැනිලා මිළ ඉදිරියේදී තව තවත් ඉහල යනු ඇතැයි සැලකිය හැකියි. එසේ වුවද වෙළඳපොල හැසිරීම මත වැනිලා මිළ උච්ඡාවචනය වීම සිදුවිය හැකි බවද සිහි තබාගත යුතුයි.

දැනට ලොව වැනිලා පරිභෝජනයෙන් ස්වාභාවික වැනිලා නිශ්පාදනය කෙරෙන්නේ 10% ක් පමණි. ඉතිරි 90% කෘතිම වැනිලා රසකාරකය වේ. අප එදිනෙදා පරිභෝජනය කරන වැනිලා රසකාරකය නිශ්පාදනය කරන්නේ පයින් ගස, හරක් ගොම, තාර සහ කැලෑ වල⁣සෙකුගේ ආමාෂ එන්සයිම වලින් නිස්සාරණය කරගත් සංගටක කීපයක් මගිනි.

මෙම කෘතිම වැනිලා රසකාරකය උග්‍ර පිළිකා කාරකයක් බව විද්‍යාත්මකව තහවුරු කර ගැනීමත් සමග කෘතිම වැනිලා වලට ඇති ඉල්ලුම ශීග්‍ර ලෙස පහත බැස ඇත. එම හිඩැස පිරවීම සඳහා ස්වාභාවික වැනිලා ඉදිරියට පැමිණ ඇතත් ස්වාභාවික වැනිලා වගා කළ හැකි සීමිත රටවල් කීපයක පමණක් නිසා තරඟකාරී වැනිලා වෙළඳපොලක් නිර්මාණය වී ඇත.

ස්වාභාවික වැනලින් සාරය කිලෝ ග්‍රෑම් එකක් සඳහා ඩොලර් 1000 ක පමණ (රුපියල් 180000) ජාත්‍යන්තර වෙළඳපොල මිළක් නියම වීම වැනිලා වල වානිජ වටිනා කම කියාපාන කදිම සාධකයකි.ලොව ස්වාභාවික වැනිලා නිශ්පාදනය කළ හැකි රටවල් කීපයක් පමණක් ඇති අතර එහි දැනට ඉදිරියෙන් සිටින්නේ ඉන්දුනීසියාව, වෙනිසිව්ලාව, මැඩගස්කරය, උගන්ඩාව, පැපුවා නිව්ගිනි, ආදී රටවල් වේ. ඉන්දියාවේද සුළු පරිමාණයෙන් වගා කෙරේ.

ලංකාවේ ද වැනිලා වගා කිරීම සඳහා ඉතා ඉහල විභවතාවක් ඇති අතර තෙත් සහ අතරමැදි කලාපයේ ඉතා සාර්ථකව වගා කළ හැක. අනෙකුත් වියලි කලාපයන් වලද පාලනය කළ හැකි පරිසර සාධකයන් යටතේ වගා කළ හැකි බව පෙනෙන්නේ වැනිලා වගා කරන බොහෝ රටවල් ලංකාවේ උෂ්නත්ව පරාසයන් වලට වඩා වැඩි උෂ්ණත්ව තත්වයන් යටතේ වැනිලා වගා කරන නිසයි.

ලංකාවේ වැනිලා වගා කළ හැකි ප්‍රදේශ ලෙස අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හඳුනාගෙන ඇත්තේ තෙත් සහ අතරමැදි කලාපයයි. උශ්නත්වය සෙල්සියස් අංශක 21 සිට 32 දක්වා උෂ්ණත්ව පරාසයන් වලට හොඳින් ඔරොත්තු දීමේ හැකියාව වැනිලා වලට ඇත. ප්‍රසස්ථ උෂ්ණත්වය ලෙස 27 සැලකේ. උච්ඡත්වය මුහුදු මට්ටමේ සිට මීටර් 600 දක්වා නිර්දේශිතය

මෙම පරිසර තත්වයන් කෙරෙහි සැලකිල්ල යොමු කරන වියලි කලාපයේ වෙසෙන ඔබ වැනිලා වගාව කෙරෙහි බලාපොරොත්තු සුන් කර ගත යුතු නැත. උත්සහය කැපවීම මහන්සිය ඇත්නම් ලංකාවේ ඕනෑම කලාපයක වැනිලා වගා කළ හැක.
ඇඹිලිපිටිය උඩවලව පනාමුර ප්‍රදේශ වලද දැන් සාර්ථක අන්දමින් වැනිලා වගා කෙරේ.

දැන් අපි සලකා බලමු වැනිලා වගාවට ආධුනික ඔබ වගාවකට බිම සකස් කරගැනීමේ අවස්ථාවේ සිට සිටුවීම දක්වා කලමනාකරණය කරගන්නා ආකාරය.මුලින්ම ඔබ හොඳින් ජලය බැස යන ජලය නොරැඳෙන කාබනික ලෝම පසක් සහිත බිමක් තෝරා ගත යුතුය. එම භූමිය තුරු වියනක් රහිත ගස් කොලන් රහිත විවෘත ඉඩමක් නම් ආධාරක ශාක 8 × 5 හෝ 6 × 6 පරතරයට සිටුවා ගත යුතුය.

( අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රමිතිය 8 × 5 වුවත් අධිගණත්ව වගාවේදී මෙම පරතරයන් සැලකිල්ලට නොගැනේ. ) වියලි කලාපයේ වගා කරන්නේ නම් මෙම පරතරය තව දුරටත් අඩු කළ යුතුය.මෙම ආධාරක ශාක වැනිලා පැල හෝ දඬු සිටුවීමට මාස හයකටවත් පෙර සිටුවා භූමිය 75% සෙවන සහිත ඉඩමක් බවට පත් කර ගත යුතුය. ආධාරක ශාක සඳහා ගිනිසීරියා වඩාත් සුදුසුය. අඩි හයක් පමණ උස උදලු මිටක් පමණ මහත ඉනි සපයා ගත හැකි නම් වඩාත් සුදුසුයි.

තුරු වියනක් සහිත ගස් කොලන් පිරි ඉඩමක් නම් 25% පමණ ⁣අව්ව ලැබෙන පරිදි වැඩි ගස් ඉවත් කළ යුතුය. වසර දෙකකින් පසු 75% අව්ව ලබා දීම අත්‍යවශ්‍ය නිසා බර අතු කපා ඉවත් කිරීමෙන් සරල කප්පාදුවක් මගින් අවශ්‍ය කාලයට අවුව ලබා ගත හැක.ගස් කොලන් පිරි ඉඩමක එම ගස් වලම වැනිලා වැල් නඩත්තු කර ගත හැකි නිසා අවශ්‍යතාවය පරිදි ආධාරක ශාක අළුතින් සිටවිය යුතුය.

පොල් ඉඩම් ද වැනිලා වගාවට සුදුසු වේ. තේ ඉඩම් වලද උස ශාක තැන තැන ඇති නිසා ඒවා ඇසුරින් වැනිලා වගා කළ හැක. වසර තුනක් යන තුරු වැනිලා වලින් කිසිදු ආදායමක් ඉපැයිය නොහැකි නිසා ගම්මිරිස් වැනි භෝග සමග මිශ්‍රව වුවද වැනිලා වගා කළ හැකි වීම විශේෂ වාසියකි.
වගා භූමිය උදලු ගෑම කිසිසේත් නොකළ යුතුය. උදලු ගෑමෙන් පාංශු ඛාදනය සහ බිම අනවශ්‍ය පරිදි උණුසුම් වීම සිදු වේ. හැකි නම් විසි කැති ගෑම ප්‍රමාණවත් වේ.

දඬු හෝ පැල සිටුවීම.මාස හයකට පෙර සිටුවාගත් ආධාරක ශාක හොඳින් පැලවී ඇත්නම් සෙවනද සැලකිය යුතු මට්ටමකින් ලැබේ.පැල හෝ දඬු සිටුවීම සඳහා යල කන්නය හෝ මාස් කන්නය සුදුසුය. හොඳින් වැසි වැටෙන කාලයක් වීම අත්‍යවශ්‍යය.රෝපණ ද්‍රව්‍ය ලබා ගැනීමේදී සැලකිය යුතු කරුණු කීපයක් ඇත. හොඳ මව් ශාකයක් වීම.

මල් නොපිපී තිබීම මව් ශාකයේ මහළු හා තරුණ කොටස් පමණක් ලබා ගැනීම. ළමා කොටස සිටුවීමට සුදුසු නොවේ. වැනිලා ප්ලැනිෆෝලියා Vanilla planifolia නමින් හඳුන්වන ප්‍රභේදය පමණක් සිටුවීමට ගන්නා අතර රත්නපුර සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව හමුවන ආවේනික වැනිලා මූනි Vanilla mooni නම් ප්‍රභේදය වානිජ වගාවකට සුදුසු නොවේ.හැම විටම අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ භීජ පනත යටතේ ලියාපදිංචි රෝපණ ද්‍රව්‍ය අලෙවි කරුවන්ගෙන් පමණක් රෝපණ ද්‍රව්‍ය ලබා ගැනීමට උනන්දු වන්න.

සිටුවීමට දඬු තෝරා ගන්නේ නම් පෑන් බටයක් තරමට හෝ ඊට වඩා මහත දඬු තෝරාගන්න. දිග අඩි 3 – 4 ප්‍රමාණවත් වේ. මෙම දඬු පූර්ව ප්‍රතිකාරයට ලක් කළ යුතුය. එනම් දින 7 -8 පමණ සෙවන ඇති තැනක වැල් එල්ලා තැබීමයි.කුඩා ම දඬු සිටුවීම අස්වැන්න ප්‍රමාද වීමට හේතු වේ. දඬු මහත් වන තරමට එහි ඇති මාෂල ගතිය නිසා අවශ්‍ය අහාර සංචිත ඇති බැවින් පෑවුමකට වුවද ඔරොත්තු දීමේ හැකියාව පවතී.බඳුන්ගත පැල තෝරා ගන්නේ නම් අඩියක් හමාරක් හොඳින් වර්ධනය වූ පැල භාවිතා කරන්න. බඳුන්ගත පැල ක්ෂේත්‍රයේ ඉතා ඉක්මනින් පිහිටා ඉක්මන් වර්ධනයක් පෙන්වන බව අත්දැකීමෙන් දනිමි.

දඬු සිටුවීමේදී ආධාරක ශාකය වටේ අඩි එක හමාරක් පමණ විශ්කම්භයක තණකොළ උදළු ගා අඟල් හතරක් පමණ ගැඹුරට උදැල්ලෙන් පස බුරුල් කොට කොම්පෝස්ට් තාච්චියක් පමණ යොදා පස සමග මිශ්‍ර කොට පුරුක් තුනක් පමණ අඟල් එකහමාරක් දෙකක් පමණ පසට යට කර ගන්න. පසට යට වන කොටසේ කොළ කපා ඉවත් කරන්න. පොලොවට යට වන කොටසේ අග කොටස පසට යට නොකොට අඟලක් පමණ එලියට පෙනන පරිදි සිටුවීමෙන් පසෙහි බැක්ටීරියා දිලීර ආදිය කැපුම් තලය හරහා දණ්ඩ වෙත පැමිණීම පාලනය වේ.

මෙලෙස සිටුවා වැල හොඳින් ආධාරක ශාකයට ගැට ගසන්න. දණ්ඩ අවුවෙන් ආරක්ෂා කිරීම සඳහා කෙසෙල් පරඬැල් ගැට ගසන්න. අවුවට නිරාවරණය වීමට ඉඩ තැබීම සුදුසු නොවේ.
බඳුන්ගත පැල සිටුවීමේදී අඟල් 6 × 6 වලවල් කපා කොම්පෝස්ට් යොදා බඳුන පරෙස්සමින් ඉවත් කොට මුල් වලට හානි නොවන පරිදි වලෙන් බාගයක් පමණ ගැඹුරට සිටුවන්න. මුල් වලට වාතාශ්‍රය ලැබෙන ලෙස කාබනික කොටස් පමණක් පස් වෙනුවට යොදා ගන්න.

වැනිලා වල මූල මණ්ඩලය පොලොව අභ්‍යන්තරය කරා ගමන් නොකරන බැවින් මතුපිට පෝෂණ කවය නිතර කාබනික කොටස් එකතු කරමින් අළුත් කිරීම සාර්ථක අස්වැන්නකට හේතු වේ. හිරු එලියෙන් ආරක්ෂා කර ගැනීමට වසුනක් යොදන්න. පෝෂණ කවය අඩි එකහමාරක පමණ වට ප්‍රමාණය නිතර කාබනික ද්‍රව්‍ය වලින් පුරවන්න. වටේට පොල් ලෙලි ඇල්ලීම පෝෂණ කවය නඩත්තු කිරීමේදී සාර්ථක ක්‍රමයකි.

වැනිලා සෙවන ප්‍රිය කරන ශාඛයක් බැවින් අළුත සිටවූ දඬු අව්වට නිරාවරණය නොවීමට සැලැස්විය යුතුයි. වැල වර්ධනය වූ පසු දැඩි නියඟයකට වුවද ඔරොත්තු දීමේ හැකියාව පවතී.
වැනිලා වලට විශේෂිත ලෙඩ රෝග මෙතෙක් හඳුනාගෙන නොමැති අතර විචිත්‍ර පුල්ලි රෝගය පත්‍ර මත ඇතිවිය හැකි නමුත් වානිජව බලපෑමක් කළ හැකි රෝගයක් ලෙස හඳුනාගෙන නැත. කලාතුරකින් ගොළුබෙල්ලා විසින් පත්‍ර කා දැමිය හැකි බැවින් ගොළුබෙල්ලන් සිටී නම් ඉවත් කිරීම සුදුසුය.

දල්ල මත මකුළු දැලක් බැඳීම ඉඳහිට දක්නට ලැබෙන අතර එම දල්ල කුණු වී නව අංකුරයන් ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වේ. මේ කිසිවක් වගාවට ප්‍රබල හානිදායක තත්වයන් නොවේ.වගාවට කාබනික පොහොර හැර රසායනික පොහොර භාවිතා නොකළ යුතුය. ලංකාවේ වැනිලා කාබනික වගාවක් ලෙස කීර්ති නාමයක් රඳවා ගැනීම මින් අපේක්ෂා කෙරේ.වගා භූමියේදී නව සංකල්ප භාවිතා කරමින් කෙරෙන ඔබේ පර්යේෂණාත්මක අත්දැකීම් වගොවේ ප්‍රවර්ධනය සඳහා උපයෝගී වනු ඇත.නව වගාවකට පිවිසීමට අදහස් කරන ඔබට සියළු උපදෙස් නොමිලේ ලබා දිය හැක.
0777421781

Copyright © All rights reserved. | Newsphere by AF themes.