November 30, 2020

Kotuwa Paththare

Kotuwapaththare offical

හෙළයන්ගේ අමුපහේ වට්ටෝරුව හදන හැටි

1 min read

ඕනම රටක ඇති සූපශාස්ත්‍ර කලාව තුළ ඒ රටට ආවේණික වූ යම්කිසි අනන්‍යතාවයක් තියෙනවා. ඉන්දියාවේ ගරම් මසාලා, චීනයේ ෆිෂ් සෝස්, චිලි සෝස්, සෝයි සෝස් මේවට උදාහරණ ලෙස දක්වන්න පුළුවන්. එතකොට අපේ ශ්‍රී ලාංකීය සූපශාස්ත්‍ර කලාව තුළ අපටම ආවේණික වූ අපටම අනන්‍ය වූ එහෙම විශේෂිත යමක් නැත්ද? ඇයි නැත්තේ, ඒ තමයි අපේ පහේ සරක්කු ටික. බැදපු පහේ කුඩු එකයි නොබැදපු අමුපහේ කුඩු එකයි තමයි සිංහල සූප ශාස්ත්‍ර කලාවේ රන්රස කියන්නේ.

මේ අතරින් සිංහල එළවළු ව්‍යාංජන වල රසයේ රස මුසුව ලෙසින් හඳුන්වන්නේ “නොබැදපු අමු පහේ කුඩු” ටික. කිරි හොද්දක, පරිප්පු හොද්දක, කරවල හොද්දක තියෙන සැබෑ සිංහල රසය එළියට ඇදලා ගන්න උපකාරී වෙන්නේ මෙන්න මේ පහේ කුඩු ටික තමයි.

ඔන්න ඉතින් එදා නියම සිංහල “බැදපු කළු පහේ” හදන්න කියලා දුන්නා වගේ මෙදා හදන්න කියලා දෙන්න යන්නේ සති 02 කට පමණ ප්‍රමාණවත් වන (500g ක පමණ) නියම සිංහල අමුපහේ කුඩු.සිංහල අමුපහේ වට්ටෝරුව අවශ්‍ය ද්‍රව්‍ය :-

  • කොත්තමල්ලි 250g ක්
  • සූදුරු 150g ක්
  • මාදුරු 100g ක්
  • අඟල් දෙක හමාරක් දිග කුරුඳු පොතු කැබැල්ලක් (කුඩා කෑලි වලට කඩාගන්න.)
  • කරාබුනැටි 12 ක්
  • කරදමුංගු කරල් 20 ක් (කරදමුංගු ගන්නා විට හොඳ කොළ පැහැයක් සහිත කරදමුංගු ගන්න. වියළි දුඹුරු පාටක් සහිත කරදමුංගු හොඳ ඒවා නොවෙයි. ඒවා තෙල් අරගෙන පසුව වියළා වෙළඳපොලට එවනු ලැබූ ඒවායි.)
  • අලුත් කරපිංචා කොළ කෝප්ප 1/2 ක්
  • රම්පා අඟලේ කැබලි 04 ක්
  • ගම්මිරිස් ඇට කෝප්ප කාලක්
  • උළුහාල් ඇට කෝප්ප කාලක්
  • සුදු කැකුළු හාල් කෝප්ප 1/2 ක්
  • තෝර පරිප්පු මේස හැඳි 02 ක්
  • අඟලක සේර බඩයක්
  • වියළි මිරිස් කරල් 08 ක්
  • අබ ඇට තේ හැඳි 02 ක්

පිළියෙල කරන අන්දම :-

කොත්තමල්ලි, සූදුරු, මාදුරු, උළුහාල්, අබ, ගම්මිරිස් හොඳින් සෝදාගන්න. ඒවායේ ඇති පියලි හා වියළි කැබලි මින් ඉවත්වෙනවා. පසුව හොඳින් පෙරාගන්න. ඉන්පසුව ලොකු වට්ටියක් ගෙන (අඟල් 20 ක පමණ විශ්කම්භයක් ඇති) එයට පිරිසිදු කඩදාසි දෙකක් එලා සෝදාගත් කොත්තමල්ලි, සූදුරු, මාදුරු, උළුහාල්, අබ හා ගම්මිරිස් පමණක් දවසක් වෙලාගන්න.

දැන් එසේ වියළාගත් කුළුබඩු ටිකට කරපිංචා, රම්පා, කඩාගත් කුරුඳු පොතු, කරාබුනැටි, කරදමුංගු, කඩාගත් වියළි මිරිස්, සුදු හාල්, තෝර පරිප්පු, සේරබඩ දමන්න. හොඳින් තුනී කරන්න. දැන් මේ සම්පූර්ණ කුළුබඩු ටික දින 02ක් වත් තද අව්වේ වියළා ගන්න.

දැන් හොඳ කට පළල් තාච්චියක් ගන්න. පහේ බදින විට තුනී තාච්චි පාවිච්චි කරන්න එපා. එවිට පහේ කරවෙනවා.

දැන් ඔබට ප්‍රශ්නයක් තියෙනවා අමු පහේ බදිනවද? කියලා. සාමාන්‍යයෙන් මේකට කියන්නෙම නොබැදපු අමුපහේ කියලනේ. ඉතින් මොකටද මේ තාච්චි අරගෙන බදින්න ලැහැස්ති වෙන්නේ. ඔව් අමුපහේ වුනත් අපි ටිකක් කබලේ බැදගන්නවා. මොකද කුළුබඩුවල ඇති සුවඳ තෙල එළියට ගන්න පුළුවන් වෙන්නේ ටිකක් කබලේ බැද්දම තමයි. කළුපහේ තරම්ම නැතත් අමුපහේ මිශ්‍රණයත් විනාඩි 12 ක් පමණ මද ගින්නේ බැදගන්නවා. එසේ කරන්නට ඇති අනිත් හේතුව තමයි කුළුබඩු වල ඇති තෙතමනය නැති කිරීම.

දැන් සියලුම පහේ මිශ්‍රණය එකට දමා විනාඩි 12 ක් පමණ බැදගන්න. හොඳින් කූරු ගාමින් බැදගන්න. ටික වේලාවකින් පහේ වල සුවඳ එන්නට ගන්නවා. වහාම තාච්චිය ලිපෙන් පිටතට ගන්න. ලිපෙන් පිටතට ගත් පසුවත් හැඳිගාමින් විනාඩි 10 ක් ඉන්න.

දැන් හොඳ ග්‍රයින්ඩරයකට දමා මේ පහේ කුඩු ටික කුඩු කරගන්න.

මෙසේ කුඩුකරගත් අමුපහේ කුඩා බෝතල් දෙකකට වෙන වෙනම දමන්න. එකක් පසුව පාවිච්චියට තබා එකක් දැන් පාවිච්චියට ගන්න. එකක් පසුව තැබුවේ නිතර නිතර පහේ බෝතලය අරින විට එහි සුවඳ යන නිසයි.

මේ අමුපහේ කුඩු සාමාන්‍ය 250g ක එළවළු කරියකට පුරවාගත් තේ හැඳි එක හමාරක් හොඳටම ප්‍රමාණවත්. මේ අමුපහේ කුඩු වල සියලුම රස ගැබ්වී තිබෙනවා. එමනිසා හදිස්සියේ කුරුඳුපොතු නැතිවුනා කියලා උළුහාල් නැතිවුනා කියලා බයවෙන්න එපා. ඒ රසය දැනටමත් පහේ එකට ලැබිලා තියෙනවා. අනිත් කාරණය තමයි මේ පහේ වල ස්වභාවික උකු ගතියක් තියෙනවා. එමනිසා හදිස්සියට පොල් කිරි නැතිවුනත් බෝංචි ටිකක්, ගෝවා ටිකක් තෙම්පරාදු කරලා ගන්න පුළුවන්. රසයේ වෙනසක් නෑ.

ඉතින් මේ අපේ නියම සිංහල අමු පහේ වට්ටෝරුව ඔයාගෙ යාළුවට, දුවට, අම්මට, අක්කට, නෑනට Share කරන්න. Tag කරන්න. එයාලත් එතකොට හදාගෙන රහට කයි.

Copyright © All rights reserved. | Newsphere by AF themes.